5. 4. 2. 10.
[භද්දජී සූත්රය]
20. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වසන්නාහ. එ කල්හි ආයුෂ්මත් භද්රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් හා සමඟ සතුටුවූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් භද්රජිත් තෙරණුවන්ට ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කීහ:
ආයුෂ්මත් භද්රජිත් තෙරණුවනි, දර්ශනයන් කෙරෙහි කුමක් අග්ර වේ ද? ශ්රවණයන් කෙරෙහි කුමක් අග්ර වේ ද? සුඛයන් කෙරෙහි කුමක් අග්ර වේ ද? සංඥාවන් කෙරෙහි කුමක් අග්ර වේ ද? භවයන් කෙරෙහි කුමක් අග්ර වේ දැයි?
ඇවැත්නි, මෙරමා අභිභවා සිටි අනෙකක්හු විසින් අනභිභූත වූ ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ හැම දෙන සියවසයෙහි පවත්වන සුලු බ්රහ්මයෙක් ඇත. යමෙක් එ බ්රහ්මයා දක්නේ වේ නම්, මෙය දර්ශනයන් කෙරෙහි අග්රය.
ඇවැත්නි, ආභාස්වර නම් වූ සුඛයෙන් පිරී පැතිර සිටුනා දෙවිකෙනෙක් ඇත. ඔහු ඇතැම් කලෙක “අහෝ සුඛ ය, අහෝ සුඛය ය”යි උදන් අනත්. යමෙක් එ හඬ අසා නම්, මෙය ශ්රවණයන් කෙරෙහි අග්ර ය.
ඇවැත්නි, ශුභකෘතස්න නම් දෙවි කෙනෙක් ඇත. සුඛිත වූ ඔහු විද්යමාන වූ ම සුව විඳුනාහ. මෙ සුඛයන් කෙරෙහි අග්ර ය.
ඇවැත්නි, ආකිඤ්චන්යායතනෝපග දෙවි කෙනෙක් ඇත. මෙ සංඥාවන් කෙරෙහි අග්ර යයි.
ඇවැත්නි, නෛවසංඥානාසංඥායතනොපග දෙවි කෙනෙක් ඇත. මෙ භවයන් කෙරෙහි අග්ර යයි.
ආයුෂ්මත් භද්රජිත් තෙරුන්ගේ මෙ බස බහු ජනයාගේ (බොහෝ දෙනාගේ) බස් හා සැසැඳේ ය යි.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බහුශ්රැතයහ, ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන්ට ම (තෙල කරුණ) වැටහේව යි.
ආයුෂ්මත් භද්රජිත් තෙරණුවනි, එසේ වී නම්, මනා කොට අසව, මැනැවින් මෙනෙහි කරව, කියමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් භද්රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඇවැත්නි, යම් පරිද්දෙකින් (ඉටු අනිටු කවර හෝ අරමුණක්) දක්නහුට එයට අනතුරුව ම ආස්රවයන්ගේ ක්ෂය වේ නම්, මෙ දර්ශනයන් කෙරෙහි අග්ර වෙයි. යම් පරිද්දෙකින් අසන්නහුට එයට අනතුරුව ට ආස්රවක්ෂය වේ නම්, මෙ ශ්රවණයන් කෙරෙහි අග්ර වෙයි. යම් මාර්ගසුඛයෙකින් සුඛිත වූවහුට අනතුරුව ම අර්හත්ත්ව ය උපදී නම්, මේ මාර්ගසුඛය සුඛයන් කෙරෙහි අග්ර ය. යම් මාර්ගසංඥාවක් ඇතියහුට (මාර්ගසංඥාවට) අනතුරුව ම ආස්රවක්ෂය වේ නම්, මේ සංඥාවන් කෙරෙහි අග්රය. යම් අත්බැවෙක සිටියහුට අනන්තරව ම (මාර්ගයට අනතුරුව ම) ආස්රවක්ෂය (ඵලය) වේ නම්, මේ පශ්චිමභවය භවයන් කෙරෙහි අග්ර වේ යයි.
ආඝාතවර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
ආඝාතවිනය සූත්ර දෙක ය, සාකච්ඡා සූත්රය, සාජීව සූත්රය, පඤ්හපුච්ඡා සූත්රය, නිරෝධ සූත්රය, චෝදනා සූත්රය, සීල සූත්රය, නිසන්ති සූත්රය, භද්දජීසූත්ර ය දැ යි දසයෙකි.