4. 4. 5. 6.
[සාළ්හ සූත්‍රය]
46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි වූ කූටාගාරශාලායෙහි වසන සේක. එකල සාළ්හලිච්ඡවි ද අභයලිච්ඡවි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාළ්හලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: වහන්ස, දෙ කොටසෙකින් චතුරෝඝනිස්තරණය පණවන ඇතැම් මහණබමුණෝ ඇත. සීලවිසුද්ධිහේතුයෙන, තපෝජිගුච්ඡාහේතුයෙන යි. වහන්ස, මෙ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
සාළ්හයෙනි, මම් ශීලවිශුද්ධිය අන්‍යතර ශ්‍රමණධර්‍ම කොට්ඨාසයෙකැ යි කියමි. සාළ්හයෙනි, තපෝජුගුප්සාවාද ඇති තපෝජුගුප්සාව සාරය කොට ඇති තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් ඔහු චතුරෝඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධකායකර්‍මාන්ත ඇති අපරිශුද්ධවාක්කර්‍මාන්ත ඇති අපරිශුද්ධමනඃකර්‍මාන්ත ඇති අපරිශුද්ධආජීවය ඇති යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් මාර්‍ගඥානසඞ්ඛ්‍යාත දර්‍ශනයට අනුත්තරසම්බෝධිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට ඔහු අභව්‍ය වෙති.
සාළ්හයෙනි, යම් පරිදි නදියක් තරණය කරණු කැමැති පුරුෂයෙක් තියුණු පොරොවක් ගෙණ වලට වදනේ හෙ එහි මහත් වූ, ඍජු වූ තරුණ වූ (අකුක්කුච්චකජාතකං-) නොදැන වියයුතු කුකුස් ඇති සල් රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සුඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතු පතර සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වෑයෙන් සස්නේ ය. වෑයෙන් සැස ලියනසැතින් ලියනේ ය. ලියන සැතින් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා නදී තරණයට වෑයම් කරන්නේ ය. සාළ්හයෙනි, ඒ කිමැ යි සිතවු ද? ඒ පුරිස් නදිය තරණට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල නොවේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට පිටත මනා පිරියම් කරණ ලදුයේ ඇතුළට අවිශුද්ධ වෙයි. ඔහු විසින් තෙල කැමති විය යුතු. සල්යට ගිළෙන්නේ ය. පුරුෂයා අනයව්‍යවසනයට පැමිණේ ය යි.
සාළ්හයෙනි, එපරිදි ම තපෝජුගුප්සාවාද කියන තපෝජුගුප්සාව හර කොට ගත් තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධ කායසමාචාර ඇති අපරිශුද්ධ වචීසමාචාර ඇති අපරිශුද්ධමනඃසමාචාර ඇති අපරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට අභව්‍ය වෙත්.
සාළ්හයෙනි, තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට නො ගත් තපොජුගුප්සායෙහි නො ඇලි යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍ය වෙති. සාළ්හයෙනි, පරිශුද්ධ කායසමාචාර ඇති පරිශුද්ධ වචීසමාචාර ඇති පරිශුද්ධමනඃසමාචාර ඇති පරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට භව්‍ය වෙති.
සාළ්හයෙනි, යම් පරිදි නදී තරණට රිසි පුරිස් තිහිණි පොරෝ ගෙණ වනයට වදනේ වේ ද, හේ ඒ වෙනෙහි මහත් වූ ඍජු වූ තරුණ වූ නො දැනවිය යුතු කුකුස් ඇති (නිසැක) සල්රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිත සෙ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වැහැයෙන් සස්නේ ය. වෑයෙන් සැස නියනක් ගෙණ ඇතුළත සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. ඇතුළත සුවිසෝධිත සේ පිරිසිදු කොට නියනෙන් ලියනේ ය. නියනෙන් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා හොරුවක් කරණේ ය. හොරුවක් කොට පලුපත් හා රිටි බඳනේ ය. පලුපත් හා රිටි බැඳ නදිය තරණේ ය. සාළ්හයෙනි, ඒ කිමැයි හඟිවු ද, එ පුරිස් නදීතරණයට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල එසේ ය. එ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට බැහැර සුපිරියම් කරණ ලදුයේ ඇතුළත මොනොවට ශුද්ධ වූයේ කළ හොරුවක් වූයේ පලුපත් හා රිටි බඳනා ලදුයේ වෙයි. ඔහු විසින් තෙල කැමැති විය යුතු: හොරුව නො ගිළෙන්නේ ය. පුරිස් නිරුපද්‍රවයෙන් එතෙර යන්නේ ය යි.
සාළ්හයෙනි, එපරිද්දෙන් ම තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට ඇති තපෝජුගුප්සාවට නො ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍යයහ. සාළ්හයෙනි, එ මහණ බමුණෝ පිරිසිදු කායසමාචාර ඇතියාහු පිරිසිදු වාක්සමාචාර ඇතියාහු පිරිසිදු මනඃසමාචාර ඇතියාහු පිරිසිදු ආජීව ඇතියාහු වෙති. ඔහු ඥානදර්‍ශනයට අනුත්තරසම්බෝධියට භව්‍යයහ.
සාළ්හයෙනි, යම් පරිදි යෝධාජීවයෙක් නොයෙක් කණ්ඩ (සර) චිත්‍ර දන්නේ ය. වැලිදු හේ තුන් කරුණෙකින් ම රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අඞ්ගයෙකැයි යන සංඛ්‍යාවට ම යෙයි. කවර තුණෙකින යත්: දුර හී හෙළන සුලු ද වෙයි. විදුලි එළියෙන් විදුනේත් වෙයි. මහත් කය බිඳ හෙළනුයෙත් වෙයි.
සාළ්හයෙනි, යම් සෙයෙකින් යෝධාජීව දුර හී විදුනසුලු වේ ද, සාළ්හයෙනි, එ පරිදි ම අරීසවු සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් සමාධි ඇති අරීසවු අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයෙක් දුරෙහි වේවයි, හමුයෙහි වේවයි, යම් කිසි රූපයෙක් වේ නම් එ හැම රූපය තෙල මා ගැත්තේ නො වෙයි, මම් තෙල රූපයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම ද නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් තත්වූ පරිදි දක්නේ ය. යම් කිසි වේදනායෙක් යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාරයෝ ... යම් කිසි විඥානයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යමක් දුරෙහි වේවයි, හමියෙහි වේවයි, එ හැම විඥාන තෙල මා ගැත්තේ නො වේ, මම් තෙල විඥානයෙම් නො වෙමි, තෙල මාගේ ආත්ම ද නො වේ යි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය.