4. චතුක්ක නිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. භණ්ඩගාම වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
4. 1. 1. 1.
[අනුබුද්ධ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩගාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යී භික්‍ෂූන් ඇමැතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
මහණෙනි, ධර්‍ම සතර දෙනෙකු අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් (භවයෙන් භවයට ගමන වශයෙන්) දුවන ලදී. (පුන පුනා යාම් ඊම් විසින්) ඇවිදුනා ලදී. නොහොත් මා හා තොපගේ සන්‍ධාවන සංසරණ වී. කවර සතර දෙනෙකුය යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලය අවබෝධ නොකිරීමෙන් පසක් නො කිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ සමාධිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ විමුක්තිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යසමාධිය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යප්‍රඥාව අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. ඒ ආර්‍ය්‍යවිමුක්තිය අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. භවතෘෂ්ණාව සිඳුනා ලදු. භවනෙත්තිය ක්‍ෂීණ වූවා. දැන් යලි පුනර්‍භවයෙක් නැති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලි ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ ද තෙල දෙගය වදාළ සේක:
1. යශස්වී වූ ගෞතමයන් වහන්සේ විසින් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත) ශීලය සමාධිය ප්‍රඥාය ලෝකෝත්තර වූ විමුක්තිඵලය යන මේ දහම්හු අවබෝධ කරන ලදහ.
2. මෙසේ බුදුහු විශිෂ්ටඥානයෙන් දැන භික්‍ෂූන්ට දහම් දෙසූ සේක. වටදුක් කෙළවර කොට සිටි පසැස් ඇති ශාස්තෲන් වහන්සේ (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි සේක.
4. 1. 1. 2.
[පපතිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්‍වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පුද්ගල මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.