4. 4. 5. 5.
[වප්ප සූත්රය]
45. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත් පුර අසල න්යග්රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි නුවට සවු වප්ප ශාක්ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පසෙක හුන් නුවටසවු වප්ප ශාක්යහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ.
වප්පයෙනි, අවිද්යා විරාගයෙන් මාර්ගවිද්යා උත්පාදයෙන් මෙ සස්නෙහි (මහණ) කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ සිතින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යමක් නිදාන කොට දුඃඛවේදනාවට ප්රත්යය වූ ආස්රවයෝ පුරුෂයා පරලොව්හි අනුබඳනාහු නම් එ කරුණ තො දක්නෙහිදැයි? වහන්ස, එ කරුණ මම් දක්නෙමි: වහන්ස, මෙ ලොව්හි නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්මයෙක් වන්නේ ය. එ හේතුයෙන් දුකට ප්රත්යය වූ ආස්රවයෝ පුරුෂයා පරලොව්හි ලුහුබඳනාහ යි.
ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ නුවට සවු වප්ප ශාක්යයා සමග වූ මෙ කථාව ද අඩාළ කරණ ලද වෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියාහු උපස්ථාන ශාලාව කරා එළඹි සේක. එළඹ පැනවූ ආසනයෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල වදාළ සේක: මොග්ගල්ලානයෙනි, දැන් තෙපි කවර කථායෙකින් හුන්නහු ද, තොප විසින් කවර අතුරු කථායෙකුත් අඩාළ කරණ ලද දැ යි.
වහන්ස, මෙහි මම නුවට සවු වප්ප ශාක්යහට තෙල කීමි: වප්පයෙනි, මෙහි (මහණ) අවිද්යා විරාගයෙන් විද්යා - උත්පාදයෙන් කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ මනසින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යම් හේතුයෙකින් දුඃඛවේදනීය ආස්රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් තෝ එකරුණ දන්හිදැ”යි. වහන්ස, මෙසේ කියූ කල්හි නුවටසවු වප්පශාක්ය මට තෙල කීයේ ය: “වහන්ස, තෙල කරුණ මම දන්මි. වහන්ස, නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්මයෙක් වන්නේ ය. එ හේතුයෙන් අභිසම්පරායෙහි දුඃඛවේදනීය ආස්රවයෝ පුරුෂයා ලුහුබඳනාහයි. වහන්ස, නුවටසවු වප්ප ශාක්ය සමග කළ කථාව මේ වෙයි. එකල්හි භාග්යවතුන් වහන්සේ අනුප්රාප්තයහ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නුවටසවු වප්ප ශාක්යයාට තෙල වදාළහ: වප්පයෙනි, ඉදින් තෝ මට අනුඥා කටයුත්තක් ම අනුදන්නෙහි නම් ප්රතික්රෝශ කටයුත්තක් ප්රතික්රෝශ කරන්නෙහි නම් මාගේ යම් ම භාෂිතයෙක අරුත් නො දන්හි නම් තෙල කරුණෙහි මත්තෙහි මා ම පුළුවුස්නෙහි නම් “වහන්ස, මෙ කෙසේය, මෙහි අර්ත්ථ කවරැ?”යි. මෙහි ලා අපගේ කථා සල්ලාපයෙක් වන්නේ යයි.
වහන්ස, භාග්යවතුන් වහන්සේගේ අනුඥා කටයුත්තක් ම මම් අනුදන්නෙමි. ප්රතික්රෝශ කටයුත්තක් ම ප්රතික්රෝශ කෙරෙමි. භාග්යවතුන් වහන්සේගේ යම් ම භාෂිතයකත් අර්ත්ථය නො දනිම් නම් එහි ලා මතුයෙහිදු භාග්යවතුන් වහන්සේ ම පුළුවුස්නෙමි. “වහන්ස, මෙ කෙසේ ය, මෙහි අරුත් කවරැ?” යි. මෙහි ලා අපගේ කථාසල්ලාපයෙක් වේව යි.
වප්පයෙනි, එ කිමැයි සිතව, කායකර්මප්රත්යය කොට ඇති විඝාතපරිදාහකර වූ යම් ආස්රව කෙනෙක් වෙත් නම් කායකර්මාන්තප්රත්යයෙන් විරත වූ ඔහට විඝාතපරිදාහකර වූ එ ආස්රවයෝ නොවෙත් නම් හේ අභිනව කර්ම ද නො කෙරේ නම් පුරාතන කර්මය ද පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා ‘එව, බලව’ යනුවට නිසි වූවා උපනයනාර්හ වූවා විඥයන් විසින් ප්රත්යාත්මයෙහි ලා වේදිතව්ය වෙයි. වප්පය, තෝ යම් හෙයෙකින් දුඃඛවේදනීය වූ ආස්රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්නෙහි දැ? යි. වහන්ස, තෙල නැත්මැ යි.
වප්පය, වාක්කර්මයෙන් දුක් හා කායික චෛතසිකපරිදාහය ඇතිකරණ යම් ආස්රව කෙනෙක් උපදනාහු නම් වාක්කර්මයෙන් වැළකි ඔහට දුඃඛපරිදාහ ඇතිකරණ එම ආස්රවයෝ මෙ පරිද්දෙන් නොවන්නාහු නම් හෙ අභිනවකර්ම නො කෙරේ නම් පැරණි කර්ම ද පැහැසැ පැහැස විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්හ වූවා විඥයන් විසින් ප්රත්යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්ප, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්රවයෝ පරලොව්හි ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැ? යි. වහන්ස, තෙල නො වේ ම ය.