4. 4. 5. 4.
[සාපූගිය සූත්රය]
44. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කෝලිය දනව්හි සාපූග නම් කෝලිය නියම්ගම්හි වැඩ වසන්නාහ. එකල්හි බොහෝ සාපූගිය කෝලිය පුත්රයෝ ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඳ එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් සාපූගිය කෝලිය පුත්රයනට ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කීහ.
ව්යග්ඝපජ්ජයෙනි, යථාර්ත්ථ දන්නා වූ යථාර්ත්ථ දක්නාවූ අර්හත් සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් මොනවට පවසන ලද සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස වූ ශෝකපරිදේවයන්ගේ සමතික්රමයට, දුක් දොම්නස් දුරලනුවට න්යායාධිගමයට නිර්වාණ සාක්ෂාත්කාරයට මෙ සතර පාරිසුද්ධි පධානියඞ්ග කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ග යි.
ව්යග්ඝපජ්ජයෙනි, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්ෂා පදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. ව්යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු ශීලපාරිසුද්ධිය පුරන්නෙමි. පරිපූර්ණ වූ හෝ ශීලපාරිශුද්ධිය එ එ කරුණෙහි විදර්ශනාප්රඥායෙන් අනුගන්නෙමි යි එහිලා යම් ඡන්දයෙක් හා යම් ව්යායාමයෙක් හා යම් උත්සාහයෙක් හා යම් උත්සොලභියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්යක් ප්රඥායෙක් හා වේ නම්, ව්යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ව්යග්ඝපජ්ජයෙනි, චිත්තපාරිශුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... (ප්රථමධ්යානයට ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ...) චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙයි. ව්යග්ඝපජ්ජයෙනි, මේ චිත්තපාරිශුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු චිත්තපාරිශුද්ධිය පුරන්නෙමි යි පරිපූර්ණ වූ හෝ චිත්තපාරිශුද්ධිය ඒ ඒ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්යක් ප්රඥායෙක් හා වේ නම් ව්යග්ඝපජ්ජයෙනි, මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයි කියනු ලැබේ.
ව්යග්ඝපජ්ජයෙනි, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුකැයි යථාභූතය දන්නේ ය ... මේ දුක්ඛසමුදය යි ... මේ දුක්ඛනිරෝධයයි ... මෙ දුඃඛනිරෝධගාමිනී ප්රතිපත්ති ය යි යථාභූතය දන්නේ ය. ව්යග්ඝපජ්ජයෙනි, මෙ දිට්ඨිපාරිසුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණවූ හෝ මෙබඳු දිට්ඨිපාරිසුද්ධිය පුරන්නෙමි යි පරිපූර්ණ වූ හෝ දිට්ඨිපාරිසුද්ධිය එ එ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්රජන්යයෙක් හා වේ නම්, ව්යග්ඝපජ්ජයෙනි, මේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ව්යග්ඝපජ්ජයෙනි, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්යග්ඝපජ්ජයෙනි, එම අරීසවු මෙ ශීලපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ මෙ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ රාගයට කරුණු වූ ඉෂ්ටාලම්බනයන් නිමිති කොට සිත වෙන් කොට ලයි. විමොචනීය ආලම්බනයන් නිමිති කොට සිත මුදාලයි. හෙ රජනීය ධර්මයන්හි සිත වෙන් කොට ලා විමොචනීය ධර්මයන්හි සිත මුදවා සම්යක් හේතුයෙන් අර්හත්ඵල විමුක්තිය (නැණපහසින්) පහස්නේ ය. ව්යග්ඝපජ්ජයෙනි, මෙ විමුත්තිපාරිසුද්ධිය යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු විමුක්තිපාරිශුද්ධිය පුරන්නෙමි, පරිපූර්ණ වූ හෝ විමුක්තිපාරිශුද්ධිය එ එ තන්හි ප්රඥායෙන් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්රජන්යයෙක් හා වේ නම්, ව්යග්ඝපජ්ජයෙනි, මේ විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ව්යග්ඝපජ්ජයෙනි, සියල්ල දන්නා, සියල්ල දක්නා අර්හත් සම්යක් සම්බුද්ධ එ භාග්යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්රමය පිණිස දුක්දොම්නසුන්ගේ අත්ථගමය පිණිස න්යායයාගේ අධිගමය පිණිස නිර්වාණයාගේ සාක්ෂාත්කාරය පිණිස මොනොවට පවසන ලද මෙ සතර පාරිශුද්ධි පධානියඞ්ග යි.
4. 4. 5. 5.
[වප්ප සූත්රය]
45. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත් පුර අසල න්යග්රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි නුවට සවු වප්ප ශාක්ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පසෙක හුන් නුවටසවු වප්ප ශාක්යහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ.
වප්පයෙනි, අවිද්යා විරාගයෙන් මාර්ගවිද්යා උත්පාදයෙන් මෙ සස්නෙහි (මහණ) කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ සිතින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යමක් නිදාන කොට දුඃඛවේදනාවට ප්රත්යය වූ ආස්රවයෝ පුරුෂයා පරලොව්හි අනුබඳනාහු නම් එ කරුණ තො දක්නෙහිදැයි? වහන්ස, එ කරුණ මම් දක්නෙමි: වහන්ස, මෙ ලොව්හි නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්මයෙක් වන්නේ ය. එ හේතුයෙන් දුකට ප්රත්යය වූ ආස්රවයෝ පුරුෂයා පරලොව්හි ලුහුබඳනාහ යි.