4. 4. 5. 3.
[භද්දිය සූත්රය]
43. එක් කලෙක භාග්යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භද්දිය ලිච්ඡවි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් භද්දිය ලිච්ඡවි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මායාවී ශ්රමණභවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්යතීර්ත්ථකයන්ගේ ශ්රාවකයන් ආවර්තනය කරත් නම්, එබඳු ආවර්තනීමායාවක් දන්නාහ” යි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් ම කෙනෙක් “මායාවී ශ්රමණ භවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්යතීර්ත්ථකයන්ගේ ශ්රාවකයන් ආවර්තනය කරත් නම්, එබඳු ආවර්තනීමායාවක් දන්නාහයි” මෙසේ කීහු නම්, වහන්ස, කිම, ඔහු භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෑ කියන්නාහු ද, භාග්යවතුන් වහන්සේට අභූතයෙන් අභ්යාඛ්යාන නො කරන්නාහු ද, ධර්මයට අනුකාරණයක් පවසන්නාහු ද, කිසි වාදානුවාදයෙක් කරුණු සහිත වූයේ විඥයන් විසින් ගැරැහිය යුතු කරුණකට නො ද ඒ ද? වහන්ස, අපි භාග්යවතුන් වහන්සේට අභ්යාඛ්යාන නොකරණු කැමැතියම්හ” යි.
භද්දියෙනි, තෙපි එව, අනුශ්රව කථායෙනුදු මාගේ කථාව නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව, “තෙල මෙසේ වීලැ” යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නහමක් ගණුව, තර්කග්රාහයෙනුදු නහමක් ගණුව, නයග්රාහයෙනුදු නහමක් ගණුව, ආකාර පරිවිතර්කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, (මෙතෙම පූජ්යයෙකැයි) භව්ය රූපතායෙනුදු නහමක් ගණුව, ‘මෙ මහණ අපට ගුරුහ’යි ද නහමක් ගණුව. භද්දියෙනි, ‘මෙ දහම්හු අකුසල්හ. මෙ දහම්හු වරද සහිතයහ. මෙ දහම්හු නුවණැත්තන් විසින් ගර්හිතයහ. මෙ දහම්හු සපුරණ ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස, පවත්නාහ’ යි තෙපි යම් කලෙක තුමූ ම දන්නහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
භද්දියෙනි, ‘එ කිමැ’යි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ දැ?යි, ඇසූසේක. වහන්ස, අහිත පිණිස වේය’යි කීය. භද්දියෙනි, ලුබ්ධ වූ මෙ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ලෝභයෙන් ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරෙයි, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි? එසේය, වහන්සැ යි.
භද්දියෙනි, ‘එකිමැ’යි හඟිවු ද? ද්වේෂය පුරුෂයාගේ ... මෝහය පුරුෂයාගේ ... සාරම්භය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ දැ? යි. වහන්ස, අහිත පිණිස වේ යයි. භද්දියෙනි, සාරම්භයෙන් යුත් මෙ පුරුෂ පුද්ගල සාරම්භයෙන් මඩනා ලදුයේ (සාරම්භයෙන්) ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයිද? වහන්ස, එසේය.
භද්දියයෙනි, එ කිමැ’යි සිතවු ද, මෙදහම්හු කුසල් හෝ අකුසල් වෙත් ද? වහන්ස, අකුසල්හ යි. සාවද්ය හෝ වෙත් ද, අනවද්ය හෝ වෙත් දැයි? වහන්ස, සාවද්යහ යි. නුවණැත්තන් විසින් ගර්හිත වෙත් ද, විඥයන් විසින් ප්රශස්ත වෙත් දැ යි? වහන්ස, විඥයන් විසින් ගර්හිතයහ යි. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහ. මෙහිලා අපට මෙසේ අදහස් වේය යි.
භද්දියයෙනි, යම් ඒ බසක් කීමෝ ද, “භද්දියෙනි, තෙපි එව, අනුශ්රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගනුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව ... මෙ දහම්හු අකුසල්හ, මෙ දහම්හු සාවද්යයහ, මෙ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මෙ දහම්හු පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව”යි, මෙසේ යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
භද්දියයෙනි, තෙපි එව, අනුශ්රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව ‘මෙසේ වීලැ’යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙති’යි ද නහමක් ගණුව, තර්කග්රාහයෙනුදු නහමක් ගණුව, නයග්රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නහමක් ගණුව, භව්ය රූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ’යි නහමක් ගණුව. භද්දියයෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්යහ, මෙදහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති”යි තුමූම දන්නහු ද, භද්දියය, එ සඳ තෙපි එ දහම් උපයා වසව.
භද්දියය, එ කිමැයි සිතවු ද? අලෝභය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස උපදනේ ය. භද්දිය ය, අලුබද්ධ වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් නො මඩනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නො යන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්රියායෙක් ඔහට දීර්ඝරාත්රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.
භද්දියය, එ කුමැයි හඟිවු ද? අදෝෂය පුරුෂයා සිත ... අමෝහය පුරුෂයා සිත … අසාරම්භය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස ය. භද්දියය, සාරම්භ රහිත මේ පුරුෂ පුද්ගල සාරම්භයා විසින් නො මඬනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නොයන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්රියායෙක් ඔහට දීර්ඝරාත්රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.