4. 4. 5. 2.
[ඨාන සූත්‍රය]
42. මහණෙනි, මේ සතර කරුණු සතර කරුණෙකින් දත යුතුය. කවර සතර කරුණුය යත්:
මහණෙනි, එක්ව විසීමෙන් සීලය දතයුතුයි. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳකලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය.
මහණෙනි, සංව්‍යයවහාරයෙන් (=සංලාපයෙන්) පිරිසිදු බව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, විපත්හිදී ථාමය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියන ලද ද යත්:
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි ඛණ්ඩකාරී ය, ඡිද්‍රකාරී ය, ශබලකාරී ය, කල්මාෂකාරී ය, සන්තතකාරී නොවේ. සන්තතවෘත්ති නො වේ. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, මේ ආයුෂ්මත් සිල්වත් නො වේ ය යි කියා යි.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි අඛණ්ඩකාරී ය, අඡිද්‍රකාරී ය, අශබලකාරී ය, අකල්මාෂකාරී ය, සන්තතකාරී ය, සන්තතවෘත්තිය, මේ ආයුෂ්මත් සිල්වත් ය, මේ ආයුෂ්මත් දුශ්ශීල නො වේ.
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස තෙල පිණිස කියන ලදී.
මහණෙනි, සංව්‍යවහාරයෙන් පිරිසිදුබව දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස කුමක් පිණිස කියන ලද ද?
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයකු සමග සංව්‍යවහාර කරන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා අන් සැටියකින් බෙණේ. දෙදෙනකු හා අන් සැටියකින් බෙණේ. තුන් දෙනකු හා අන් සැටියකින් බෙණේ. බොහෝ දෙනා හා අන් සැටියකින් බෙණේ. මේ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය පැණ යේ. මේ ආයුෂ්මත් නොපිරිසිදු ව්‍යවහාර ඇත්තෙකි. මේ ආයුෂ්මත් පිරිසිදු ව්‍යවහාර නැත්තෙකැ යි.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා කථා කරන්නේ මෙසේ දනියි: යම් පරිදි මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා බෙණේ ද, දෙදෙනකු හාත් තුන් දෙනෙකු හාත් බොහෝ දෙනකු හාත් එසේ ම බෙණේ. මෙ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය නො ද ලැගැ යෙයි. මෙ ආයුෂ්මත් පරිශුද්ධ ව්‍යවහාර ඇතියෙකි. මෙ ආයුෂ්මත් අපරිශුද්ධ ව්‍යවහාර ඇතියේ නො වේ ය යි.
මහණෙනි, සංව්‍යවහාරයෙන් ශුචිභාවය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස නුවණනැතියහු විසින් නොදත හැකිය යි මෙසෙයින් යම් මැ බසෙක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.