4. 4. 4. 7.
ද්වතීයවස්සකාර සූත්‍රය
37. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂ’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙ ද නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු ය.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේද වනසුලු වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙය යාවත් සුභාෂිතය (පරමසුභාෂිතයි). “බමුණා” ‘මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේ අකාරණය, වන්නට අවකාශ නැතැයි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද අහේතුකය, අනවකාශය යි ද, බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු වෙයි ද, බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද වනසුලු වේ ය” යනුයි.
භවත් ගෞතමයන් වහන්ස, එක්සමයක තුදි ගම්වැසි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මුළුදුන් පිරිසෙහි මෙබඳු මෙරමා ගැරහීමක් බෙණෙත්: “රාමපුත්‍ර වූ (උද්‍රක) ශ්‍රමණයා කෙරෙහි පහන්, රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරයෙක් (අත්‍යර්‍ත්‍ථයෙන් යටත් පැවතුම්) කරණ මේ එලෙය්‍ය රජ බාලයෙක. රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි පහන්, රාපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරය කරණ යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන මේ එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ ද බාලයෝ” ය කියා යි.