4. 4. 4. 8.
[උපක සූත්රය]
38. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එක්බිති මණ්ඩිකාපුත්ර උපක භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මණ්ඩිකාපුත්ර උපක භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, “මම යම් කිසිවෙක් පරගර්හා කියා ද, පරගර්හා කියන්නේ, එ හැම (කුසල්) සිදු නො කෙරේ, නොහොත් උපපාදනය (තම වචනය නිසි කිරීම) නො කෙරේ. උපපාදනය නො කරණුයේ, ගර්හණීය වේ. උපවාද කටයුතු ද වෙයි” යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි.
“උපකය, ඉදින් පරගර්හා කෙරේ නම්, පරගර්හා කරණුයේ උපපාදනා නො කෙරේ නම්, උපපාදනා නො කරණුයේ ගර්හණීය වේ නම්, උපවාද කටයුතු වේ නම්, උපකය, තෝ පරගර්හා කෙරෙහි. පරගර්හා කරමින් උපපාදනා නො කෙරෙහි. උපපාදනා නො කරන්නෙහි ගර්හණීය වෙහි. උපවාද කටයුත්තෙහි ය” යි භාග්යවතුන් වහන්සේ වදාළහ.
වහන්ස, යම්සේ ඉල්පෙන්නා හා ම මහත් මළබැඳුමෙන් බඳනේ ද, වහන්ස, එපරිදි ම මම ඉල්පෙනුයෙම් ම භාග්යවතුන් වහන්සේ විසින් මහත් වාදපාසයෙන් බඳනා ලද්දෙමි.
උපකය, මා විසින් ‘මේ අකුසලැ’ යි පණවන ලදී. ඒ පැණවීමෙහි අපරිමාණ පදයෝ ය. අපරිමාණ ව්යඤ්ජනයෝ ය. ‘මෙසේත් මේ අකුශලය’ යන මෙහි තථාගතයන්ගේ අප්රමාණ ධර්මදේශනාවෝ ය.
උපකය, ‘ඒ අකුශලය ප්රහාතව්යය’ යි මා විසින් පණවන ලදි. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ අකුශලය ප්රහාතව්යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්රමාණය.
උපකය, ‘මේ කුසලැ’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය’ යි යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්රමාණය.
උපකය, ‘ඒ කුශලය භාවිතව්යය’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය භාවිතව්යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්රමාණයි.
ඉක්බිති මණ්ඩිකාපුත්ර උපක භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වේදේහිපුත්ර වූ මගධාධිශ්වර අජාසත් රජු කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග යම් පමණ කථාසල්ලාප වී ද, එහැම වේදේහිපුත්ර මගධාධීශ්වර අජාසත් රජහට කීයේ ය.
මෙසේ කී කල්හි වේදේහිපුත්ර වූ මගධාධීශ්වර අජාසත් රජ කුපිත ව නොගත් සිත් ඇතිව මණ්ඩිකාපුත්ර උපකයාට මෙසේ කීය: “මේ ලෝණකාර ගම්දරුවා පරමධර්ම ඇත්තෙක (=අත්යර්ත්ථයෙන් ගැටෙන්නෙක). ඉතා දොඩමලුය. අතිශයින් ප්රගල්භය. භගවත් අර්හත් ඒ සම්මා සම්බුදුරජුන් ඝැටියයුත්තකු කොට සිතී ද එහෙයිනි. උපකය, තෝ පහව යා. නස තා නොදකිම්වා.”
4. 4. 4. 9.
[සච්ඡිකරණීය සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ සාක්ෂාත් (ප්රත්යක්ෂ) කළයුතු දහම්හු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. දිව්යචක්ෂුසින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. ධ්යානප්රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත.
මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, අෂ්ටවිමෝක්ෂයෝ නාමකයින් ප්රත්යක්ෂ කළයුතු වෙති.
මහණෙනි, ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, පූර්වේනිවාසය ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ය.
මහණෙනි, දිව්යචක්ෂුසින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහු ද? මහණෙනි, සත්ත්වයන්ගේ චුතූපපාතය දිවැසින් ප්රත්යක්ෂ කළයුතු ය.
මහණෙනි, ප්රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, ආස්රවක්ෂය ප්රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ය.
මහණෙනි, මේ සතර දහම්හු සාක්ෂාත් කළයුත්තෝ යි.
4. 4. 4. 10.
[භික්ඛුසඞ්ඝථොමන සූත්රය]
40. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර මුවරමාපාය නම් වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ එදවස් පොහොයෙහි බික්සඟන විසින් පිරිවරණ ලදුව හුන්සේක් වෙති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මේ පර්ෂද් ප්රලාපරහිතය. මහණෙනි, මේ පර්ෂද් නිෂ්ප්රලාපය, නිර්මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්යය, පාහුණෙය්යය, දක්ඛිණෙය්යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ එබඳුය.