4. බ්‍රාහ්මණ වර්‍ගය
4. 4. 4. 1.
[යෝධාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යෝධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්:
මහණෙනි, මෙලොව යෝධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යෝධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.
මහණෙනි, එපරිදි ම සතර දහමෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර දහමෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ‘ඨානකුසල’ වූයේත් ‘දූරේපාතී’ වූයේත් ‘අක්ඛණවේධී’ වූයේත් මහත් ‘කායවිදාරණය’ කරන්නේත් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ‘ඨාන කුසල’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ශික්‍ෂාපද විෂයයෙහි සමාදානය කොට හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ඨාන කුසල’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ දූරේ පාතී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ඉන්‍ද්‍රියබද්ධ වේවයි අනින්‍ද්‍රිය බද්ධ වේවයි ඖදාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමෙක් දුරෙහි වේවයි ලඟ වේවයි, යම් කිසි රූපායතනයෙක් ඇත් ද, තෙල එ හැම රූප මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. තෙල රූප මාගේ විසිය වැටෙන්නේ නො වෙයි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇත් ද ... යම් කිසි සංඥායෙක් ඇත් ද ... යම් කිසි සංස්කාරයෝ ඇත් ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි දළ වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමක් දුරෙහි වේවයි ලඟ වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, තෙල හැම විඥානය මා ගැත්තේ නො වෙයි මම තෙල විඥානයෙම් නොවෙමි. තෙල විඥානය මාගේ විසිය වැටෙන්නේ නො වෙයි මෙසේ මේ යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ද, මහණෙනි, මෙසේ මහණ ‘දූරේපාතී’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘අක්ඛණවේධී’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැ යි තත් වූ පරිදි දනී ද, මේ දුක් උපදනා හේතු යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමැ යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ යි තත් වූ පරිදි දනී ද, මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
මහණෙනි, කෙසේ මහණ මහත් වූ කය බිඳලන්නේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් වූ අවිද්‍යාස්කන්‍ධය පළයි. මහණෙනි, මෙසේ මහත් කය පළන්නේ වේ.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
4. 4. 4. 2.
[පාටිභෝග සූත්‍රය]
32. මහණෙනි, දහමුන් සතර දෙනකුන්ට මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. කවර සතර දෙනකුට ය යත්:
“ජරාධර්‍මය නහමක් දිරාව”යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘ව්‍යාධිධර්‍මය නහමක් පෙළෙව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසි වෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘මරණධර්‍මය නහමක් මියේව’යි, මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘කෙලෙසුන් කරණ, පුනර්‍භවය ගෙණ දෙන, දරථ සහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණ එළවන යම් පාපකර්‍මයෝ ඇත් ද, උන්ගේ විපාකය නහමක් උපදී ව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
මහණෙනි, මේ සතර දහමුනට ශ්‍රමණයෙක් වේවයි, බ්‍රාහ්මණයෙක් වේවයි, දේවයෙක් වේවයි, මාරයෙක් වේවයි, බ්‍රහ්මයෙක් වේවයි, ලොව අනෙකෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
4. 4. 4. 3.
[වස්සකාර සූත්‍රය]
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.”