4. 4. 4. 4.
[ජාණුස්සොනී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. එකල ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි.
බමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත.
බමුණ, මරණසැහැවි ඇතියේ මරණයට බානා, සන්ත්‍රාසයට වදනා පුද්ගල කවරේ ය යත්:
බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිළාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪරෝගාතඞ්කයෙක් තුලුන් ස්පර්‍ශ කෙරේ. කිසියම් ගාඪරොගාතඞ්කයෙකින් පැහැසුනු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියත්. වැලි මමත් ප්‍රිය කාමසම්පත් හැරපියමි.” කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වෙයි. වලප්නේ වෙයි. ලෙහි අත් පැහැරැ පැහැරැ හඬයි. සම්මෝහයට පැමිණෙයි. බමුණ මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් කයෙහි නොපැහු රාග ඇතියේ නොපැහු ඡන්‍ද ඇතියේ නොපැහු ප්‍රේම ඇතියේ නොපැහු පිපාසා ඇතියේ නොපැහු පරිළාහ ඇතියේ නොපැහු තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪ වූ රෝගයෙක් තුලුන් ස්පර්‍ශ කෙරෙයි. එක්තරා ගාඪරෝගයෙකින් පහස්නා ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි. වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරණුයේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනුයේ වෙයි. සම්මෝහයට වදනේ වෙයි. බමුණ, මෙයිත් මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් පින්කම් නොකෙළේ වෙයි. කුසල් නො කෙළේ වෙයි. බියට පරිත්‍රාණ නොකෙළේ වෙයි. පව් කෙළේ වෙයි. කැකුළුකම් කෙළේ වෙයි. කිලිටිකම් කෙළේ වෙයි. එක්තරා ගාඪවූ රෝගයෙක් තුලුන් පැහැස සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත වු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් කල්‍යාණයෙක් නොකරණ ලදී. කුසලයෙක් නොකරණ ලදි. බියට පරිත්‍රාණයෙක් නොකරණ ලදි. පාපයෙක් කරණ ලදි. කැකුළුකමෙක් කරණ ලදි. කිලිටිකමෙක් කරණ ලදී. භවත්නි, කල්‍යාණයන් නොකළ කුසලයන් නොකළ බියට පරිත්‍රාණ නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තන්ගේ යම් ගතියෙක් වේ ද, පරලොව ඒ ගතියට යෙමි යි හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැරැ පැහැරැ හඬන්නේ වෙයි. මුළාබවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියේ වෙයි. විචිකිච්ඡා ඇතියේ වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයේ නො වෙයි. එක්තරා ගාඪරෝගයෙක් තුලුන් පැහැසැ සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියෙම් වෙමි. විචිකිච්ඡා ඇතියෙම් වෙමි. ශාසනසද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයෙම් ද නො වෙමියි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනේ වෙයි. මුළාවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
බමුණ, මේ සතර දෙනා මරණසැහැවි ඇත්තාහු මරණයට බති. සන්ත්‍රාසයට පැමිණෙත්.