4. 4. 4. 5.
[චතුකෝටික සුඤ්ඤතා සූත්රය]
35. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වසනසේක. එසමයෙහි අතිප්රසිද්ධ බොහෝ පිරිවැජියෝ සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම්හි වෙසෙත්. ඔහු කවරයහ යත්: අන්තහාරය, වරධරය, සකලදායි පරිව්රාජකයි. අනෙක් ප්රසිද්ධ ප්රසිද්ධ පිරිවැජියෝ ද වෙත්. එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගි සිටිසේක් සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම කරා වැඩි සේක.
එසමයෙහි රැස්ව හුන් මුළුදුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව පහළ විය. “බ්රාහ්මණසත්යයෝ මෙසේ ද වෙත්, බ්රාහ්මණ සත්යයෝ මෙසේ ද වෙත්” යි කියා යි.
එක්බිති භාග්යවතුන් වහන්සේ ඒ පිරිවැජියන් කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ. භාග්යවතුන් වහන්සේ වැඩ හිඳ ඒ පිරිවැජියනට තෙල වදාළ සේක: පිරිවැජියෙනි, දැන් කිනම් අතුරු කථායෙකින් රැස්ව හුන්නහු ද? තොපගේ කිනම් අතුරු කථායෙක් අඩහළ වී ද? කියා යි.
භවත් ගෞතමයෙනි, මෙහි රැස්ව හුන් මුළුදුන් අපගේ මේ අතුරු කථාව පහළ විය. “බ්රාහ්මණසත්යයෝ මෙසේ ද වෙති. බ්රාහ්මණසත්යයෝ මෙසේ ද වෙති” කියා යි.
පිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ ලද මේ සතර බ්රාහ්මණසත්ය කෙනෙක් ඇත. කවර සතර සත්ය කෙනෙක යත්:
පිරිවැජියෙනි, මෙලොව ක්ෂීණාස්රව බ්රාහ්මණ මෙසේ කියයි: “සියලු ප්රාණීහු අවධ්යයෝ” ය කියා යි. මෙසේ බණන බමුණු සැබැවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් ‘මම ශ්රමණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම බ්රාහ්මණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම ශ්රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. තවද එහි යම් ම සැබවෙක් ඇද්ද, ඒ විශිෂ්ටඥානයෙන් දැන ප්රාණයන් පිළිබඳ වූ ම දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: “සියලු කාමයෝ අනිත්යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ’යි. මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් “මම ශ්රමණයෙමි”යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම බ්රාහ්මණයෙමි’යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම ශ්රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, හේ වෙසෙසින් දැන කාමයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: ‘සියලු භවයෝ අනිත්යයහ දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සබා බිණීමෙන්, ‘මම ශ්රමණයෙමි’යි නො හඟියි. ‘මම බ්රාහ්මණයෙමි’යි නොහඟියි. ‘මම ශ්රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන භවයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “මම කිසිතැනෙක ආත්ම විසින් නො වෙමි. (මාගේ ආත්මය) කිසිවක්හුගේ කිඤ්චන භාවයෙහි ලාත් නො දක්මි. පරාගේ ආත්මයත් කිසි තැනෙක නො දක්මි. කිසි තැනෙක පරාගේ ආත්මය මාගේ කිඤ්චන භාවයෙහිත් ලා නොදක්මි”යී මෙසේ චතුකෝටික සුඤ්ඤතා බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබවින් ‘ශ්රමණයෙමි’ යි නො හඟියි. ‘බ්රාහ්මණයෙමි යි’ නො හඟියි. ‘මම ශ්රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන අකිඤ්චනභාව සඞ්ඛ්යාත ප්රතිපදාවට ම පිළිපන්නේ වෙයි.
පිරිවැජියෙනි, මේ සිවුවැදෑරුම් (ක්ෂීණාස්රව) බ්රාහ්මණසත්යයෝ තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට මා විසින් ප්රකාශ කරණ ලදහ.
4. 4. 4. 6.
[බහුස්සුත සූත්රය]
[සැවැත්නිදාන යි]
36. එසඳ එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේ ය.
වහන්ස, කවරකු විසින් ලෝකය ගෙණයනු ලැබේ ද? අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ ද? කියායි.
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්රඥාගමන මැනව, ප්රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි.
‘වහන්ස, මැනවැ’ යි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්යවතුන් වහන්සේ වෙතින් මතුයෙහිත් පැණ පිළිවිසී: වහන්ස, ‘බහුශ්රැතය ධර්මධරය, බහුශ්රැතය ධර්මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්රැතය ධර්මධරය’ යි කියනු ලැබේ ද?
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්රඥාගමනය මැනව, ප්රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්යාණය. “වහන්ස, බහුශ්රැතය ධර්මධරය, බහුශ්රැතය ධර්මධරය යි කියනු ලැබේ. වහන්ස, කෙප මණෙකින් බහුශ්රැතය ධර්මධරය කියනු ලැබේ” දැ යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නොවේ ද? වහන්ස, එසේ ය.