4. 4. 4. 3.
[වස්සකාර සූත්‍රය]
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.”
බමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. බමුණ, මම හැම විඥාතය (ධම්මාරම්මණ) කියයුතුය යි නො ම කියමි. බමුණ, මම හැම විඥාතය නොකියයුතු ය යි නො ද කියමි.
බමුණ, දුටු යමක් කියන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු දුටු දැය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් දුටු දැයක් කියන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙබඳු දුටු දැය කියයුතුය යි කියමි.
බමුණ, යම් ඇසූ දැයක් කියන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු ඇසූ දැය නො කියයුතු ය යි කියමි. බමුණ, යම් ඇසූ දැයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු ඇසූ දැය කිය යුතුය යි කියමි.
බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු මුතය නො කියයුතුය යි කියමි. බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු මුතය කිය යුතුය යි කියමි.
බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු විඥාතය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු විඥාතය කියයුතුය යි කියමි.
එකල්හි මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට හුනස්නෙන් නැගී ගියේ ය.
4. 4. 4. 4.
[ජාණුස්සොනී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. එකල ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි.
බමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත.