4. 4. 4. 10.
[භික්ඛුසඞ්ඝථොමන සූත්රය]
40. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර මුවරමාපාය නම් වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ එදවස් පොහොයෙහි බික්සඟන විසින් පිරිවරණ ලදුව හුන්සේක් වෙති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මේ පර්ෂද් ප්රලාපරහිතය. මහණෙනි, මේ පර්ෂද් නිෂ්ප්රලාපය, නිර්මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්යය, පාහුණෙය්යය, දක්ඛිණෙය්යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ එබඳුය.
මහණෙනි, යම්බඳු පිරිසෙක් ඇද්ද, අල්ප කොට දෙන ලද්ද විපාක විසින් බොහෝ වේ ද, බොහෝ කොට දෙන ලද්ද විපාක විසින් බහුතර වේ ද, මේ පිරිස් එබඳුය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ තෙමේ එබඳුය. මහණෙනි, යම් පිරිසක් අස්හි ලා මාර්ගෝපකරණපුට ගෙණදු යොදුන් ගණනුත් දක්නට යනු පිණිස නිසි වේ ද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝ තෙමේ එබඳුය.
මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි දිව්යවිහාරප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි බ්රහ්මවිහාරප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි නිශ්චලප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි ආර්ය්යභාවප්රාප්තව වසන භික්ෂූහු ඇත.
මහණෙනි, කෙසේ නම් මහණ දේවප්රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ... පළමුවන දැහැනට එළඹ වෙසෙයි ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ දේවප්රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බ්රහ්මප්රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැසැ වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්වාත්මභාවයෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ අව්යාබාධ වූ මෙත්සහගත සිතින් පැහැසැ වෙසෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්වාත්මසමතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ ව්යාබාධ රහිත වූ උපේක්ෂාසහගත සිතින් පැහැසැ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බ්රහ්මප්රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ නිශ්චලප්රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්රමයෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්තය” යි ආකාශානන්ත්යායතනයට එළඹ වෙසෙයි. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්රමණය කොට “විඥානය අනන්තය” යි විඥානානන්ත්යායතනයට එළඹ වෙසෙයි. සර්වප්රකාරයෙන් විඥානානන්ත්යායතනය සමතික්රමණය කොට “කිසිත් නැතැ” යි ආකිඤ්චන්යායතනයට එළඹ වෙසෙයි. ආකිඤ්චන්යායතනය සමතික්රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ නිශ්චලප්රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ආර්ය්යභාවප්රාප්ත වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුකැයි තත් වූ පරිදි දනී. මේ දුක් උපදින හේතු යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනීප්රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ආර්ය්යභාවප්රාප්ත වේ.
බ්රාහ්මණ වර්ගය සිවුවැනි යි.