4. 4. 3. 9.
[පරිනිබ්බානහෙතු සූත්‍රය]
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සම්මෝදනයට කරුණු වූ සිහි කරණුවට නිසි වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත, ශාරීපුත්‍රයෙනි, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඇවැත ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත්. ‘මොහු ස්ථිතිභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත් ද, ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘මොහු නිර්වේදභාගියසංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
ඇවැත, ශාරීපුත්‍රයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඇවැත, ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු ස්ථිතිභාගීයසංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු නිර්වේදභාගීයසංඥා හ’යි යථාභූතය දනිත්. ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
4. 4. 3. 10.
[මහාපදෙසදෙසනා සූත්‍රය]
30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයෙහි ආනන්‍ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මේ සතර මහා අපදෙසයන් දෙසමි. ඒ අසව, මෙනෙහි කරව, කියමි යි වදාළහ. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සතර මහාපදේසයෝ කවරහ?
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්‍දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, විනයෙහි ලා සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නො සසැඳෙත් ද, මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ භාෂිතය හැර පියව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: “ඇවැත්නි, මා විසින් තෙල බුදුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය සතුටින් නො පිළිගතයුතු ය. පිළිකෙසි නො කටයුතුය. සතුටින් නො පිළිගෙණ පිළිකෙසි නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතුය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලද්දේ, විනයෙහි ලා සසඳන ලද්දේ සූත්‍රයෙහිත් වැටේ ද, විනයෙහිත් සසැඳේ ද, මෙහි ලා නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ය. මේ භික්‍ෂූහු විසිනුත් මොනොවට උගන්නා ලදැ’යි කියා ය. මහණෙනි, මේ පළමුවන මහාපදේසය (-මහාප්‍රමාණය) ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙති. මා විසින් ඒ සඟුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.