3. සඤ්චේතනිය වර්‍ගය
4. 4. 3. 1.
[සඤ්චේතනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්‍යාත විංශත් සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනෝද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ම උපදි යි.
මහණෙනි, යමක් ප්‍රත්‍යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් තමා තුළ ඒ සුව දුක් ඔහට උපදනේ ද, පරහු හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරෙත්. (ඔහු ලවා කරවත්). මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ (කුසලාකුසල විපාක දැන) හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඕහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුව දුක් උපදනේ ද, නො දන්නේ හෝ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙර්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, මේ චේතනාධර්‍මයෙහි අවිද්‍යාව සහජාත උපනිඃශ්‍රය වශයෙන් ලුහුබැඳුනු ය. යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, අවිද්‍යාවගේ ම නිඃශේෂ විරාගයෙන් හා නිරෝධයෙන් ඒ කායවිඥප්තිය නො වේ. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ වාග්විඥප්තිය ද නො වෙයි. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ මනෝද්වාරය නො වේ.
යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ ක්‍ෂේත්‍රය නො වේ. ඒ වස්තුව නො වෙයි. ඒ ආයතනය නො වෙයි. ඒ අධිකරණය නො වෙයි.
මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා පවතී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙන ය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට මෙපවත් සැළ කළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය මෙසේ දනිමි.
වහන්ස, යම් ආත්මභාවයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, ආත්මසඤ්චේතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වෙයි.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා ඇද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි ආත්මසඤ්චේතනා හා පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හෝ පරසඤ්චේතනාව හෝ නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එයින් කවර දෙවියෝ දතයුත්තාහු වෙත් ද? “ශාරීපුත්‍රය, එයින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියෝ දතයුත්තාහ.”
වහන්ස, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වෙත් ද, මේ බවට (මේ කාමාවචර පඤ්චස්කන්‍ධභාවයට) එත් ද, ඊට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වෙත් ද, මේ බවට නො පැමිණෙන සැහැවි ඇති වෙත් ද, ඊට හේතු කවරේ ය, ඊට ප්‍රත්‍යය කවරේ ය?
ශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. හේ දිටුදැමියෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුත වූයේ එනසුලු වූයේ මේ පඤ්චස්කන්‍ධභාවයට එළඹෙන සැ හැවි ඇත්තේ වෙයි.