4. 4. 3. 10.
[මහාපදෙසදෙසනා සූත්‍රය]
30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයෙහි ආනන්‍ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මේ සතර මහා අපදෙසයන් දෙසමි. ඒ අසව, මෙනෙහි කරව, කියමි යි වදාළහ. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සතර මහාපදේසයෝ කවරහ?
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්‍දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, විනයෙහි ලා සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නො සසැඳෙත් ද, මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ භාෂිතය හැර පියව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: “ඇවැත්නි, මා විසින් තෙල බුදුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය සතුටින් නො පිළිගතයුතු ය. පිළිකෙසි නො කටයුතුය. සතුටින් නො පිළිගෙණ පිළිකෙසි නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතුය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලද්දේ, විනයෙහි ලා සසඳන ලද්දේ සූත්‍රයෙහිත් වැටේ ද, විනයෙහිත් සසැඳේ ද, මෙහි ලා නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ය. මේ භික්‍ෂූහු විසිනුත් මොනොවට උගන්නා ලදැ’යි කියා ය. මහණෙනි, මේ පළමුවන මහාපදේසය (-මහාප්‍රමාණය) ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙති. මා විසින් ඒ සඟුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි හෙළිය යුතු ය. විනයයෙහි ලා සසැඳිය යුතු ය. ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයයෙහි සසඳනු ලබන්නේ, ඉදින් සූත්‍රයෙහි නො බස්නේ නම්, විනයෙහි ලා නොසසැඳනේ නම්, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු ය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ සඟුන් විසින් වරදවා ගන්නා ලද වෙයි’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙත්. මා විසින් ඒ සඟුන්ගේ හමුයෙහි අසන ලදී. හමුයෙහි පිළිගන්නා ලදි: ‘මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කට යුතු ය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බහාලිය යුතු ය. විනයෙහි ලා සසඳා ලියයුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බස්නේ ද, විනයෙහිත් සසඳ ලබා ද, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු යි: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත වෙයි. ඒ සඟුන් විසින් මොනොවට ගන්නා ලද්දේ ය’ කියා යි. මහණෙනි, මේ දෙවන මහාපදේසය ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී. මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහි සසඳනු ලබන්නේ, සූත්‍රයෙහි බැස නො ගණී ද, ‘විනයෙහි ලා සසඳ නොගණී ද, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරවරුන් විසිනුත් වරදවා ගන්නා ලද’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.