4. 4. 3. 8.
[චේතෝවිමුත්ති සූත්රය]
28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්යතර ශාන්ත චේතෝවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරෝධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙන නො සිටුනේ ය.
මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලහ ගැල්වූ අතින් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත ලගනේත් වෙයි. හැදගන්නේත් වෙයි. කා වදනේත් වෙයි. මහණෙනි, එපරිදි ම මහණ අන්යතර ශාන්ත චේතෝ විමුක්තියකට පැමිණ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නො බැස ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරෙයි. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් වැද ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය කැමති විය යුතුය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ධෞතහස්තයෙන් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත නො ම ලගනේ ය. නො ඇදගන්නේ ය, නොකාගන්නේ ය. මහණෙනි, මෙ පරිදි ම මහණ අන්යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් පැනගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කායනිරෝධය කැමැති විය යුතුය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ අවිදු බිඳුම් නැමැති රහත්බව මෙනෙහි කෙරෙයි. අවිද්යා භේදය මෙනෙහි කරණ ඔහට අවිද්යාභේදයෙහි ලා සිත අරමුණු විසින් නොපැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. අධිමුක්ත නො වේ. මහණෙනි, ඒ මහණහට අවිද්යාභේදය නො කැමැති විය යුතුය.
මහණෙනි, යම් පරිදි නොඑක් වස් ගණන් ඇති ගවරවළෙක් වේ ද, පුරුෂයෙක් ඒ වළෙහි යම් දිය වදනා සිවු කඳුරු ඇත් ද, ඒ වසයි. දිය බැස යන සිදුරු ඇද් ද, ඒ විවර කෙරෙයි. මේඝය ද මොනවට දහර නො වස්වයි. මහණෙනි, මෙසේ වත් ම ඒ ගවරවළෙහි මියර බිඳලීම කැමැති නො විය යුතුය. මහණෙනි, එ පරිදි ම මහණ අන්යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වෙසේ. හේ අවිදු බිඳලීම මෙනෙහි කෙරේ. අවිදු බිඳුම් මෙනෙහි කරණ ඔහට අවිද්යා බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නිශ්චය නො ලබයි. මහණෙනි, ඒ මහණහට අර්හත්ත්වය නො කැමැති විය යුතුය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වාස කෙරෙයි. හේ අවිද්යාව බිඳලීම මෙනෙහි කෙරෙයි. අවිද්යාව බිඳලීම මෙනෙහි කරණ ඔහට අවිද්යාව බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් පැන ගණී. පහදී. මොනවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්යාව බිඳලීම කැමති විය යුතුයි.