4. 4. 3. 7.
[රාහුල සූත්රය]
27. එකල ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රහල් තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
රාහුලය, ආධ්යාත්මික යම් පෘථිවිධාතුයෙක් ඇද්ද, යම් බාහිරපෘථිවී ධාතුයෙක් ඇද්ද, තෙල පෘථිවීධාතු ම වෙයි. “තෙල පෘථිවිධාතු මා ගැත්තේ නො වෙයි. මම පෘථිවිධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙයි” කියා ඒ පෘථිවීධාතුව මෙසේ තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල පෘථිවිධාතුව තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දැක පෘථිවීධාතුයෙහි උකැටි වෙයි. පෘථිවීධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලය, යම් ආධ්යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද, යම් ඉන්ද්රියබද්ධයෙන්බැහැරි අබ්ධාතුයෙක් ඇද්ද, තෙල අබ්ධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මා අබ්ධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දැක අබ්ධාතුයෙහි උකැටි වෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් ආධ්යාත්මික තේජෝධාතුයෙක් වේ ද, යම් බාහිර තේජෝධාතුයෙක් වේ ද, තෙල තෙජොධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. ‘මම තේජෝධාතුයෙම් නො වෙමි.’ තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේය” යි එය තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දැක තොජාධාතුයෙහි උකැටි වෙයි. තොජාධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් ආධ්යාත්මික වායෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද, තෙල වායෝධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මම වායෝධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දැක්ක යුතුයි. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්යක් ප්රඥායෙන් දැක වායෝධාතුයෙහි උකැටි වෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් කලෙක පටන් ගෙණ මහණ මේ සතර ධාතූන් කෙරෙහි ලා ආත්මය නො දක්නේ ම වේ ද, ආත්මයට අයිති දැයක් හෝ නො දක්නේ ම වේ ද, රාහුල ය, මේ මහණ තෘෂ්ණාව සිඳපීහ යි ද, දස සංයෝජන උපුටා හළහ යි ද, මානයාගේ ප්රහාණාභිසමයෙන් වටදුක් මොනොවට කෙළවර කළහ යි ද කියනු ලැබේ.
4. 4. 3. 8.
[චේතෝවිමුත්ති සූත්රය]
28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්යතර ශාන්ත චේතෝවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරෝධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙන නො සිටුනේ ය.