3. 2. 3. 7.
27. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි කර්‍මචේතනාව පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම්, රූපධාතුව කිම, පැණේ ද?
වහන්ස, තෙල නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව රූප ධාතුයෙහි පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි.
ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල නො වේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව අරූපධාතුයෙහි පිහිටියාය. කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
3. 2. 3. 8.
28. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි?
වහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි.
ආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් දහම්හු පිරිහෙත් නම්, මෙබඳු වූ ශීලව්‍රතය ජීවිත වූයේ බ්‍රහමචර්‍ය වූයේ උපස්ථාන සාර වූයේ අඵල වෙයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් ජීවිත වේ ද, බ්‍රහ්මචර්‍ය්‍යය වේ ද, උපස්ථානසාර වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු පිරිහෙත් නම්, කුසල්දහම්හු වැඩෙත් නම්, මෙබඳු ශීලව්‍රතය ජීවිත වූයේ, බ්‍රහමචර්‍ය වූයේ උපස්ථානසාර වූයේ සඵල වෙයි.
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල සැළ කළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මබස අනුදත් සේකැ යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වඩනා හා ම භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, අනඳ තෙරණුවෝ ශෛක්‍ෂයහ. ඔහුට ප්‍රඥායෙන් සමසමයෙක් සුලභ නො ද වේ.
3. 2. 3. 9.
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, එබඳු මේ ගන්‍ධජාතයෝ තුන් දෙනෙකි.