3. තිකනිපාතය
1. පඨමපණ්ණාසකය
[1. බාලවර්‍ගය]
3. 1. 1. 1.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
මහණෙනි, යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
මහණෙනි, රනහුණින් සුසන් ගෙයක් හෝ තණ කරලින් සුසන් ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ, ඇතුළත පිටත සුණුවමින් ගල්වන ලද, වැළැහු සුළං ඇති, පැහැසු කවුළු ඇති, යෙදූ දැල් කවුළුදොර ඇති කැණි දුන් ගෙය ද යම්සේ දවා ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
මහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ ප්‍රතිභය සහිත වේ. පණ්ඩිත තෙමේ ප්‍රතිභය රහිත වේ. බාල තෙමේ උපද්‍රව සහිත වේ. පණ්ඩිත තෙමේ උපද්‍රව රහිත වේ. බාල තෙමේ උපසර්‍ග සහිත වේ. පණ්ඩිත තෙමේ උපසර්‍ග රහිත වේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපද්‍රවයෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපසර්‍ගයෙක් නැත.
මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුතු නම්, ඒ ධර්‍ම තුණ නෙරැ යම්බඳු ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙම දතයුතු නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 2.
2. මහණෙනි, බාල තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනී ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාලයා දතයුතු ය. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන් හා වාග්දුශ්චරිතයෙන් හා මනෝදුශ්චරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතුය: කවර තුණෙකින යත්: කායසුචරිතයෙන් හා වාක්දුචරිතයෙන් හා මනස්සුචරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු ය.
මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුත්තේ නම්, ඒ තුන් ධර්‍මයන් නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 3.
3. මහණෙනි, බාලයාගේ බාලාභිඥානයෝ, බාලනිමිත්තයෝ, බාලචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි බාල තෙමේ (අභිධ්‍යාදි විසින්) නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි. නපුරු බස් බණනුයේ ද වෙයි. නපුරු කර්‍ම කරණුයේ ද වෙයි. මහණෙනි, ඉදින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත්, නපුරු බස් බණන සුලුත්, නපුරු කර්‍ම කරණ සුලුත් නොවී නම්, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි කවර සැටියෙකින් ඔහු හඳුනාගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත් වේ ද, නපුරු බස් බණන සුලුත් වේ ද, නපුරු කර්‍ම කරණ සුලුත් වේ ද, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි එයින් ඔහු හඳුනන්නාහ. මහණෙනි, මොහු තුන්දෙනා බාලයාගේ බාල ලක්‍ෂණ වෙති. බාලනිමිත්ත වෙති. බාලාපදාන වෙත්.
මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ, පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි පණ්ඩිත තෙම මනාසිතිවිලි සිතන සුල්ලේත්, මනාතෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණ සුල්ලේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉදින් මනා සිතිවිලි සිතන සුල්ලේත්, මනා තෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණු සුල්ලේත් නොවී නම්, කවර සැටියෙකින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත තෙමේ මනා සිතිවිලි සිතන සුල්ලේත් වේ ද, මනා තෙපුල් තෙපලන සුල්ලේත් වේ ද, මනා කර්‍ම කරණ සුල්ලේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක, පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගන්නාහ. මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයෝ, පණ්ඩිත නිමිත්තයෝ, පණ්ඩිතාපදානයෝ මොහු තුන්දෙන වෙත් යයි. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.