3. 2. 3. 8.
28. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි?
වහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි.
ආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් දහම්හු පිරිහෙත් නම්, මෙබඳු වූ ශීලව්‍රතය ජීවිත වූයේ බ්‍රහමචර්‍ය වූයේ උපස්ථාන සාර වූයේ අඵල වෙයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් ජීවිත වේ ද, බ්‍රහ්මචර්‍ය්‍යය වේ ද, උපස්ථානසාර වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු පිරිහෙත් නම්, කුසල්දහම්හු වැඩෙත් නම්, මෙබඳු ශීලව්‍රතය ජීවිත වූයේ, බ්‍රහමචර්‍ය වූයේ උපස්ථානසාර වූයේ සඵල වෙයි.
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල සැළ කළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මබස අනුදත් සේකැ යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වඩනා හා ම භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, අනඳ තෙරණුවෝ ශෛක්‍ෂයහ. ඔහුට ප්‍රඥායෙන් සමසමයෙක් සුලභ නො ද වේ.
3. 2. 3. 9.
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, එබඳු මේ ගන්‍ධජාතයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: මූලගන්‍ධය, සාරගන්‍ධය, පුෂ්පගන්‍ධයි. වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, මේ ඒ ගන්‍ධජාතයෝ තුන් දෙනයහ.
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාත පටිවාතයටත් හමා ද එබඳු කිසි ගන්‍ධජාතයෙක් ඇත් ද?
ආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතයෙක් ඇත.
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතය කවරේ ය?
ආනන්‍දය, මෙලොව යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේවයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, පණිවායෙන් දුරුවූයේ වේ ද, අයිනාදනින් දුරුවූයේ වේ ද, කාමයෙහි මිස හසරින් දුරුවූයේ වේ ද, මුසවායෙන් දුරුවූයේ වේ ද, පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වේ ද, සිල්වත් වේ ද, කලණදහම් ඇතියේ වේ ද, පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසේ ද, මුදා දෙන ත්‍යාග ඇතියේ ද, දෙනුවට දෙවි අත් ඇතියේ වේ ද, දීමෙහි ඇලුනේ වේ ද, යදනට නිසිවූයේ වේ ද, දන් හා සංවිභාගයෙහි ඇලුනේ වේ ද, ඔහුගේ ගුණ ඒ ඒ දික්හි මහණබමුණෝ බෙණෙත්. “අසෝ ගම හෝ නියම්ගම හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බුදුන් සරණ ගියේ වෙයි. දහම් සරණ ගියේ වෙයි. සඟුන් සරණ ගියේ වෙයි. පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිස හසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වෙයි. සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසෙයි. මුදාදෙන ත්‍යාග ඇතියේ වෙයි. දෙනුවට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි. යැදිවත් දීමෙන් යාචයෝග වෙයි. දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේ වෙයි” කියායි.
මනුෂ්‍ය නොවන දෙවියෝත් පවා ඔහුගේ ගුණ කියත්: “අසුවල් ගම හෝ නියම්ගම් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ... දහම් සරණ ... සඟුන් සරණ ගියේ වෙයි, පණිවායෙන් දුරුවූයේ වෙයි, ... දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේත් වෙයි” කියායි.
ආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද පටිවාතයටත් හමා ද අනුවාතපටිවාතයටත් හමා ද, මේ ඒ ගන්‍ධජාතයයි.
36. පුෂ්පගන්‍ධය උඩුසුළඟට නොහමයි. සඳුන් තුවරලා, සමන්සුවඳ හෝ උඩුසුළඟට නොහමයි. සත්පුරුෂයන්ගේ ගුණගන්‍ධය උඩුසුළඟට හමා සත්පුරුෂ තෙමේ හැම දික්හි ම වැතිරෙයි. (ගුණ සුවඳින් හැමේ.)