2. දෙවන පණ්ණාසකය.
[1. බ්‍රාහ්මණ වර්‍ගය]
3. 2. 1. 1.
[සැවැත්නිදාන යි]
1.එසමයෙහි ජරා ජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: ‘භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ජරාජීර්‍ණ වයෝවෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සියවිසි හැවිරිදි බමුණු වම්හ. ඒ අපිදු නොකරණ ලද කලණ දහම් ඇත්තම්හ. නොකළ කුසල් ඇත්තම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කල් හිතසුව පිණිස වේ නම්, භවත් ගෞතමයෝ අපට එබඳු අවවාද කෙරෙත්වා, භවත් ගෞතමයෝ අපට අනුශාසනා කෙරෙත්වා’ යි.
බ්‍රාහ්මණයෙනි, සැබව, තෙපි ජරාජීර්‍ණ වූවහු ම ය. වයසින් වැඩී සිටියහුම ය. දෑමහලු වූවහු ම ය. තුන්වයස් ඉක්ම සිටියහු ම ය. පැසිම් වියට පැමිණියහු ම ය. උපතින් එක්සියවිසි හැවිරිදි වූවහු ම ය. ඒ තෙපි නොකළ කලණදහම් ඇත්තහු ය. නොකළ කුසල් ඇත්තහු ය. නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝවැසි ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු (ඒ ඒ අවස්ථාවට) එළවනු ලැබේ. බ්‍රාහ්මණයෙනි, ලෝකයා මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු එළවනු ලබත්ම, මෙලොවදී කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ඒ පින පරලොව ගිය ඔහට රක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන (නැසෙන තැන) ද ප්‍රතිෂ්ඨාස්ථාන (ද්වීපය) ද ශරණ ද පරායණ (පිහිටීම) ද වේ.
1. ජීවිතය මරණය කරා පමුණුවනු ලබයි. ආයුෂය අල්ප වෙයි. ජරායෙන් ගෙනයන ලද්දහුට රක්‍ෂාස්ථානයෝ නැත. මරණයෙහි ලා මේ බිය දක්නේ සුව එළවන පින් කරන්නේ ය.
2. කයින් වේවයි වචනයෙන් වේවයි නොහොත් සිතින් වේවයි යම් සංයමයෙක් වේ ද, ජීවත්වනුයේ යම් පිනක් කෙරේ ද, ඒ පින පරලොව ගිය ඔහට සුව පිණිස වේ.
3. 2. 1. 2.
2. එකල්හි ජරාජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන්වයස් පැනගිය පැසිම් වයසට පැමිණි උපතින් එක්සියවිසිහැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාජීර්‍ණ වයෝවෘද්ධ මහලු තුන් වයස් පැනගිය පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි බමුණම්හ. ඒ අපිදු නොකළ කලණදහම් ඇතියම්හ. නොකළ කුසල් ඇතියම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වේ නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අනුශාසනා කරණ සේක්වා.
සැබව, බ්‍රාහ්මණයෙනි,තෙපි ජරාජීර්‍ණවහු, වයෝවෘද්ධවහු, මහලුවහු, ගතවයස් ඇතියහු, පැසිම්වියට ද පැමිණියහු, උපතින් එක්සියවිසිහැවිරිදි වහු ම ය. ඒ තෙපිදු නොකළ කලණදහම් ඇත්තහු ය, නොකළ කුසල් ඇත්තහු ය, නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ඇවිළ ගන්නා ලද්දේ ය. බ්‍රාහ්මණයෙනි, මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ලෝකය ඇවිළ ගණුත් ම, මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, වැලිත් මනසින් යම් සංයමයෙක් වේ ද, එය පරලොව ගිය ඔහට ආරක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන ද ප්‍රතිෂ්ඨාස්ථාන ද ශරණස්ථාන ද පරායණස්ථාන ද වේ යි.
3. ගෙය ඇවිළගත් කල්හි යම් බඳුනක් බැහැර කෙරේ ද, එය ගෙහිමි ඔහුට වැඩ පිණිස වෙයි. යම් බඳුනෙක් එහි දැවේ නම්, එය වැඩ පිණිස නො වෙයි.
4. මෙසේ ජරාව විසිනුදු මරණය විසිනුදු ලෝවැසි හාත්පසින් ඇවිළ ගන්නා ලද්දේ ය. දීමෙන් ම බැහැර කරගන්නේ ය. දෙන ලද්ද මොනොවට නෙරණ ලද්දේ වේ.
5. මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වැලිත් වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ජීවත් වනුයේ යම් පිනක් කරයි ද එය පරලොව ගිය ඔහට සුව පිණිස වේ යි.
3. 2. 1. 3.
3. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස්ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද? අකාලික වේ ද? ‘එව, බලව’ යන විධියට සුදුසු වේ ද? උපනයනාර්‍හ වේ ද? නුවණැත්තන් විසින් තමා සතන්හි ලා දතයුතු වේ දැ? යි.
බ්‍රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්‍රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. ... බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, මානසික දුක්දොම්නස් විඳියි. ද්වේෂය ප්‍රහත වත් ම ආත්මපීඩාව පිණිස නො සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස නො සිතයි. මානසික දුක් දොම්නස් නොවිඳියි. ... බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩාව පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක්දොම්නස් ද විඳියි. මෝහය ප්‍රහතවත් ම ආත්මපීඩාව පිණිස ද නො සිතයි. මෙරමාහට ... පීඩා පිණිස ද ... දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික වූ දුක්දොම්නස් නො විඳියි. බමුණ, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. කල් නොයවා විපාක දෙන්නේ වේ. ‘එව බලව’ යන විධියට සුදුසු වේ. උපනයනාර්‍හ වේ. නුවණැත්තන් විසින් තමා සතන්හි එළවා දතයුතු වේ යයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දරණසේක්වා යි.