[3. ආනන්ද වර්ගය]
3. 2. 3. 1.
[සැවැත්නිදාන යි]
21. එකල්හි සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස්ව හුන් සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය:
කියඟ ආනන්දයෙනි, තෙපිත් රාගප්රහාණය පනවාලවු ද, ද්වේෂ ප්රහාණය ... මෝහප්රහාණය පනවාලවු දැ’යි. ඇවැත්නි, අපි ම රාගප්රහාණය පණවම්හ. ද්වේෂප්රහාණය ... මෝහ ප්රහාණය පණවම්හ යි. කිමෙක ඇවැත්නි, තෙපි රාගයෙහි ආදීනව දැක රාගප්රහාණය පණවා ලවු ද? කිම ද්වේෂයෙහි ... කිම? මෝහයෙහි ආදීනව දැක මෝහප්රහාණය පණවා ලවු දැ යි.
ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මව්යාබාධය පිණිස ද සිතයි, පරව්යාබාධය පිණිස ද ... උභයව්යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, රාගය ප්රහතවත් ම ආත්මව්යාබාධය පිණිස නො සිතයි. පරව්යාබාධය පිණිස ... උභයව්යාබාධය පිණිස ... චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්රහතවත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මාර්ත්ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිදි නො දන්නේය. රාගය ප්රහතවත් ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, රාගය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නොකරන්නේ වෙයි. ප්රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
ඇවැත්නි, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මව්යාබාධය පිණිස ද සිතයි. පරව්යාබාධය පිණිස ... උභයව්යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, මෝහය ප්රහතවත් ම ආත්මව්යාබාධය පිණිස නො ම සිතයි. පරව්යාබාධය පිණිස ... උභයව්යාබාධය පිණිස නො ම සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය.
ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. මෝහය ප්රහත වත් ම කයින් දුසිරිත් නො ම කරයි වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මාර්ත්ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිදි නො දන්නේය. මෝහය ප්රහත වත් ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, මෝහය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නො කරන්නේ වෙයි. ප්රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
ඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනවය දැක රාගප්රහාණය පණවම්හ. ද්වේෂයෙහි මේ ආදීනවය දැක ද්වේෂප්රහාණය පණවම්හ. මෝහයෙහි මේ ආදීනවය දැක මෝහප්රහාණය පණවම්හ යි.
ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්රහාණය පිණිස, මාර්ගයෙක් ඇත් ද? ප්රතිපදායෙක් ඇත් දැ යි? ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්රහාණය පිණිස මාර්ගයෙක් ඇත. ප්රතිපදායෙක් ඇත, ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්රහාණය පිණිස වැටෙන මාර්ගය කවරේය? ප්රතිපදාව කවර? ඇවැත්නි, මේ අරී අටඟි මග මැ යි. හේ කෙසේය: සම්යග් දෘෂ්ටිය, ... සම්යක් සමාධි යි. ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්රහාණය පිණිස මේ මගයි. මේ ප්රතිපදායි. ඇවැත්නි, තෙල රාගයාගේ දේවෂයාගේ මෝහයාගේ ප්රහාණය පිණිස වැටෙන මාර්ගය භද්රය. ප්රතිපදාව භද්රය. ඇවැත, ආනන්දයෙනි, අප්රමාදය පිණිස නිසිත් වෙයි.
3. 2. 3. 2.
[කොසඹෑනිදාන යි:]
22. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල එක්තරා ආජීවක ශ්රාවක වූ ගැහැවියෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇදුරු කොට වැඳ, එකත්පස්හි හින. එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි?
ගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වේ ද, නොහොත් නො වේ ද? තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේ දැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්රහාණය සඳහා දහම් දෙසත් ද? ද්වේෂප්රහාණය ... මෝහප්රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වෙයි. මෙහි ලා මට මෙසේ සිත් වෙයි.
ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්රහාණය ... මෝහප්රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ඔහු ලෝකයෙහි සුපිළිපන්හු වෙත් ද, නොහොත් නො වෙත් ද, තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේදැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ද්වේෂප්රහාණය ... මෝහප්රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන් වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.