3. 2. 3. 5.
[සැවැත්නිදාන යි]
25. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
ආනන්දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්රාතෘභගින්යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ.
කවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්යක්සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ. චතුස්සත්යය අවබෝධ කළහ. භාග්යවත්හ කියා යි.
ධර්මයෙහි අවේත්යප්රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත්කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වදාරණ ලද්දේය. සාන්දෘෂ්ටිකය. ... නුවණැතියන් විසින් සියසතන්හි ලා දතයුතුය’ කියා යි.
සඟුන් කෙරෙහි අවේත්යප්රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝයා සුපිළිපන ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රය’ කියා යි.
ආනන්දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්යථාත්වය වෙයි. බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ අන්යථාත්වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්දය, බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවක නිරයට හෝ තිරිසන් ගතියට හෝ ප්රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවේ.
ආනන්දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝ ධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්යථාත්වය වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්යප්රසාදයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ අන්යථාත්වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්දය, සඟුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන් සමන්වාගත ඒ ආර්ය්යශ්රාවක ඒකාන්තයෙන් නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවෙයි.
ආනන්දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද, මිත්රයෝ හෝ සුහෘදයෝ හෝ නෑයෝ හෝ සාලේ නෑයෝ හෝ යම් කෙනෙක් (තොපගේ බස) ඇසිය යුතු කොට සිතත් ද, ආනන්දය, තොප විසින් ඔහු මේ තුන් තන්හි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවිය යුතුවහ.
3. 2. 3. 6.
26. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද?
ආනන්දය, කාමධාතුයෙහි විවස්නා කර්මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නො පැණෙයි.
ආනන්දය, මෙසේ කර්මය ක්ෂේත්රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්ධනයෙන් බැඳුනු සත්ත්වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්භව සඞ්ඛ්යාත අභිනිර්වෘතිය වේ.