3. 2. 3. 4.
[වේසාලිනිදාන යි]
24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.
වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්‍මයන්ගේ නොකිරීමෙන් සේතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් සර්‍වදුඃඛය නිර්ජිර්‍ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්‍ජරාවිශුද්ධියෙන් භවසමතික්‍රමණය වේය යි කියා යි.
වහන්ස, මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්‍ෂුසින් සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
කවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම පුනපුනා විපාක ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයෙනි, ඒ මහණ මෙ පරිදි සිල් ඇතියේ කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම විපාක විසින් පුනපුනා ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයයෙනි, ඒ මහණ මෙපරිදි සිල් ඇතියේ මෙපරිදි සමාධි ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ උපයා වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම ස්පර්‍ශ කොට කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන් හතයට යනු සඳහා අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරාවිශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
මෙසේ වදාළ කල්හි පණ්ඩිතකුමාර ලිච්ඡ්වී අභය ලිච්ඡ්වීහට තෙල කීය:
යහළු අභයයෙනි, කිම, තො ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙහි ද?
යහළුව, කිමෙක, මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙම් වෙම් ද, යමෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනේ වේ නම් ඔහුගේ හිසත් ඇදහෙන්නේ ය.
3. 2. 3. 5.
[සැවැත්නිදාන යි]
25. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්‍රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්‍රාතෘභගින්‍යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ.
කවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ. චතුස්සත්‍යය අවබෝධ කළහ. භාග්‍යවත්හ කියා යි.