3. 2. 3. 3.
[කිඹුල්වත්නිදාන යි:]
23. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ ගිලන් ව නැගි සිටි සේක් ගිලන් සෙයින් නැගිසිටි නොබෝකල් ඇති සේක. එක්බිති මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. වහන්ස, ‘එකඟ සිතැතියාහට ඥානය ඇත. එකඟ සිත් නැතියාහට ඥානය නැතැ’යි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසූ දහම මම දීර්ඝ-රාත්රයෙහි දැන සිටිමි. වහන්ස, කැල ම සමාධිය වේ ද? පසු ව ඥානය වේ ද? නොහොත් කැල ම ඥානය වේ ද? පසු ව ලා සමාධිය වේ දැ යි?
එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙබඳු සිතෙක් වී. භාග්යවතුන් වහන්සේ ගිලන්ව නැගිසිටි සේක් ගිලන් බැවින් නැගිසිටි නොබෝකල් ඇත සේක. වැලිදු මේ මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේ අතින් ඉගැඹුරු පැනක් පුළුවුස්නේය. මම මහානාම සැහැරජ එකත්පසෙකට ගෙණ ගොස් දහම් දෙසම් නම් මනා මැ නුයි.
එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂප්රඥායෙකුදු වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂප්රඥායෙකුදු වදාරණ ලදී.
මහානාමයෙනි, ශෛක්ෂශීලය නම් කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරසංවෘතව ... මොනොවට ගෙණ ශික්ෂාපද විෂයෙහි හික්මෙයි. මහානාමයෙනි, මේ ශෛක්ෂශීලය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්ෂසමාධිය කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙයි. මහානාමයෙනි, මේ ශෛක්ෂසමාධිය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්ෂප්රඥාව කවර? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැයි යථාභූතය ප්රකාරයෙන් දන්නේය. ... මේ දුඃඛනිරෝධගාමිනී වූ ප්රතිපත්තිය යි යථාභූතය ප්රකාරයෙන් දන්නේය. මහානාමයෙනි, මේ ශෛක්ෂප්රඥා යි කියනු ලැබේ.
මහානාමනි, ඒ අරිසවු මෙබඳු සිල් ඇතියේ, මෙබඳු සමාධි ඇතියේ මෙ බඳු පැණ ඇතියේ ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ රහත්ඵල සපියුතු සමාධි හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්රත්යක්ෂ කොට උපයාගෙන වෙසෙයි.
මහානාමයෙනි, මෙ පරිදි භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂශීලය ද වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂ ශීලය ද වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂසමාධිය ද වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂ සමාධිය ද වදාරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් ශෛක්ෂප්රඥාව ද වදාරණ ලදු. භාග්යවතුන් වහන්සේ විසින් අශෛක්ෂ ප්රඥාව ද වදාරණ ලදු.
3. 2. 3. 4.
[වේසාලිනිදාන යි]
24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.
වහන්ස, නිගණ්ඨනාතපුත්ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්ශනය එළඹ සිටිති’යි සර්වඥ යැයි සර්වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්මයන්ගේ නොකිරීමෙන් සේතුඝාතය පණවයි. මෙසේ කර්මක්ෂය හේතුයෙන් දුඃඛක්ෂය වෙයි. දුඃඛක්ෂය හේතුයෙන් වේදනාක්ෂය වෙයි. වේදනාක්ෂය හේතුයෙන් සර්වදුඃඛය නිර්ජිර්ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්ජරාවිශුද්ධියෙන් භවසමතික්රමණය වේය යි කියා යි.
වහන්ස, මෙහි ලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
අභයයෙනි, සත්ත්වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්රමණය සඳහා දුඃඛදෞර්මනස්යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්ගයාගේ අධිගමය සඳහා නිර්වාණයාගේ ප්රත්යක්ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්ෂුසින් සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
කවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්ම නො කෙරෙයි. පුරාණ වූත් කර්ම පුනපුනා විපාක ස්පර්ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්ය වූ උපනයනාර්හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.