3. 2. 2. 9.
19. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශල මූලයෙකි.
මහණෙනි, යම් ලෝභයෙක් වේ ද, හෙ ද අකුශලය. ලුබ්ධ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් පිළියෙළ කරන්නේ නම් එ ද අකුශලය. ලුබ්ධ වූයේ ලෝභයෙන් මඩනා ලද්දේ ලෝභයෙන් ගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි බන්ධනයෙන් වේවයි, සර්වස්වහරණයෙන් වේවයි, ගර්හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි, අවිද්යාමානදෝෂයෙකින් දුක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති අනේකපාපක අකුශලධර්මයෝ ඔහට පහළ වෙත්.
මහණෙනි, යම් ද්වේෂයෙක් වේ ද, එ ද අකුශලයෙකි. “ද්විෂ්ට වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් සකස් කරන්නේ වේ ද, එ ද අකුශලය. ද්විෂ්ට වූයේ ද්වේෂයෙන් මඩනා ලද්දේ ද්වේෂයෙන් ගත් සිත් ඇත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නෙරනායෙන් වේවයි, යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ද්වේෂයෙන් හැටි ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්රත්යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්මයෝ ඔහට පහළ වෙත්.
මහණෙනි, යම් මෝහයෙක් වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් රැස්කරන්නේ වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ මෝහයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනය පැහැර ගැණීමෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්යමාන දෝෂයෙකින් යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ මෝහයෙන් හැටි මෝහය නිදාන කොට ඇති මෝහය සමුදය කොට ඇති මෝහය ප්රත්යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙ වැනි වූ මේ පුද්ගල ද අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
මහණෙනි, කවර හෙයෙකින් මෙබඳු වූ මේ පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලබන්නේ වේ ද? මහණෙනි, යම්සේ මේ පුද්ගල “බලවත් වෙමි, බලයෙන් අර්ත්ථ ඇත්තෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගර්හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්යමාන දෝෂයෙකින් දුක් උපදවා ද, එහෙයිනි. සත්යවූ දැයින් කියනු ලබන්නේ අවඥා කෙරෙයි. ප්රතිඥා නො කෙරෙයි. අභූතයෙන් අභ්යාඛ්යාන කරණු ලබන්නේ මෙසේත් මෙය තථ්ය නො වෙයි, මෙසේත් මෙය භූත නො වෙයි කියා ඒ අභූතය අවුල් හරණු පිණිස උත්සාහ නො කරයි. එහෙයින් මෙබඳු පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
මහණෙනි, මෙබඳු පුද්ගල ලෝභයෙන් හටගත් පාපක අකුශලධර්මයෙන් මඩනා ලදුයේ එයින් ම වැළඳගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස සහිත උපායාස සහිත පරිදාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
ද්වේෂයෙන් හැටි ... මෝහයෙන් හැටි පාපක අකුශලධර්මයෙන් මඩනා ලදුයේ එයින් පැහැර ගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.