3. 2. 2. 10.
20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් වූ මුවරමාපායෙහි වැඩ වසන සේක. එකල මාගාරිමාතෘ වූ විශාඛා තොමෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනු. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මුවරමා විශාඛාවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
විශාඛාවෙනි, මේ දෙවෙන්දවහල්හි තෙපි කොහි සිට එවු ද?
වහන්ස, මම අද පෙහෙවස් ඇතියෙම් උපවාස කරමි යි.
විශාඛාවෙනි, මේ පෙහෙවස්හු තුන් දෙනෙක. කවර තුන් දෙනෙක යත්: ගෝපාලකූපෝසථය, නිගණ්ඨුපෝසථය, අරියූපෝසථ යි.
විශාඛාවෙනි, ගෝපාලකූපෝසථය කෙසේ වේ ද? විශාඛාවෙනි, යම් පරිදි ගොපලු සවස්කල හිමියනට ගවයන් දක්වා දී මෙසේ සලකා බලන්නේ වේ ද: “අද ගවයෝ අසෝ අසෝ පියෙස්හි (තණ) කෑහ. අසෝ අසෝ පියෙස්හි පැන් පීහ. සෙට දවස්හි ගවයෝ අසෝ අසෝ පියෙස්හි තණ කති. අසෝ අසෝ පෙදෙස්හි පැන් බොති” යි.
විශාඛාවෙනි, එපරිදි ම මෙලොව කිසිවෙක් පෙහෙවස් ඇතියේ මෙසේ සලකයි: “මම අද මේ මේ ඛාද්‍ය කෑයෙමි. මම අද මේ මේ භෝජ්‍ය වැළඳීමි. සෙට දවස මම මේ මේ ඛාද්‍ය කමි. මේ මේ භෝජ්‍ය බුදිමි” යී. හේ ඒ ලෝභයෙන් අභිධ්‍යාසහගත සිතින් දවස ගළවයි. විශාඛාවෙනි, මෙසේ ගෝපාලකූපෝසථය (ගොපලු පෙහෙවස) වෙයි. විශාඛාවෙනි, මෙ පරිදි වුසූ ගෝපාලකූපෝසථය මහත් ඵල නො වෙයි. මහානිශංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහාවිස්ඵාර ද නො වෙයි.
විශාඛාවෙනි, නිගණ්ඨුපොස්ථය කෙසේ වේ ද: විශාඛාවෙනි, නිගණ්ඨ නම් වූ මහණ පිරිසෙක් ඇත. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ පැදුම් දිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. පැළදිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. උතුරුදිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. දකුණු දිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව” යි. මෙසේ ඇතැම් ප්‍රාණීන්හට දයා පිණිස අනුකම්පා පිණිස සමාදන් කරවත්. ඇතැම් ප්‍රාණීන්හට නිර්දයා පිණිස නිරනුකම්පා පිණිස සමාදන් කරවත්. ඔහු පොහෝ ලත් එදින සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ හැම පිළී බහා තබා මෙසේ කියව: “මම කිසිතැනෙක්හිදු කිසිවකුගේ පලිබෝධයෙකිම් නොවෙමි. මාගේ ඇතුළත හෝ පිටත කිසිදු තැනෙක පිරිකරෙක පළිබෝධයෙක් ද නැතැ” යි.
“මේ අපගේ පුතු ය” යි ඔහුගේ මාපියෝ හඳුනත්. හෙ ද “මොහු මාගේ මාපියහ” යි ද ... “මේ අපගේ භර්‍තෘ ය” යි ඔහුගේ අඹුදරුවෝ ද දනිති. හෙ ද “මේ මාගේ අඹුදරුහ” යි දනියි. ඔහුගේ දස්කම්කරු පිරිස්හු ද “මේ අපගේ හිමියාපුත්හ” යි දනිත් හෙ ද “මොහු මාගේ දස්කම්කරු පිරිස්හු” යි දනියි. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහු ද එසමයෙහි මුසවායෙහි සමාදන් කරවයි. මෙය ඔහුගේ මුසවා යී කියමි. හේ ඒ රැය ඉක්ම යාමෙන් පසු අයිනාදන් වූ ම ඒ භෝග වළඳ කෙරෙයි. මෙ ද ඔහුගේ අයිනාදනැ යි කියමි. විශාඛාවෙනි, මෙසේ නිගණ්ඨුපොස්ථය (නුවට පෙහෙවස) වේ. විශාඛාවෙනි, මෙසේ වුසූ නිගණ්ඨුපෝසථය මහත් ඵල නො වෙයි. මහත් අනුසස් ඇතියේ නො වෙයි. මහත් දිලුම් ඇතියේ නො වෙයි. මහත් පැතිරීම් ඇතියේ ද නො වෙයි.
විශාඛාවෙනි, අරියූපෝසථය කෙසේ වේ ද: විශාඛාවෙනි, සකිලිටි චිත්තයාගේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් සකිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු තථාගතයන් අනුස්මරණය කෙරෙයි: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් වන සේක, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීයහ, දෙව් මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යී.
තථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම්සේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද එසෙයිනි.
විශාඛාවෙනි, කිලිටි හිසෙහි පිරිසුදු බව කෙසේ උපක්‍රමයෙන් වේ ද, ඇඹුලුකල්කය ද නිසා මැටි ද නිසා දිය ද නිසා පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, එපරිදි ම කිලිටිසිත්හි පිරිසුදු බව උපක්‍රමයෙන් වෙයි.
විශාඛාවෙනි, කිලිටිසිත්හි පිරිසුදුබව කෙසේ උපක්‍රමයෙන් කෙසේ වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තථාගතයන් අනුස්මරණය කෙරෙයි. “මේ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ“යී.
තථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක බ්‍රහ්මූපෝසථය (සමාදන්ව) වෙසේ යයි ද (සම්‍යක්සම්බුද්ධ සඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා සමග වෙසේ යි ද කියනු ලැබේ. සම්‍යක් (සම්බුද්ධසඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා ඇරබ ඔහුගේ සිත පහදී, ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි මෙසේ කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යාවදානය උපක්‍රමයෙන් වේ.