[2. මහා වර්‍ගය]
3. 2. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව) පරම්පරාවක් ගොසිනුදු අක්‍රියවාදයෙහි සිටිද්ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ”යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු ප්‍රත්‍යයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණෝ ඇද්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂා වේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි තෙපි මෙබඳු වාද ඇත්තහු ල, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් වේ ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: ‘ආයුෂ්මත්නි, එසේ වී නම් ආයුෂ්මත්හු පෙර කළ කම් හෙයින් පණිවා කරන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අයිනාදන් ගන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අබ්‍රහමචාරීහු වෙති, පෙර කළ කම් හෙයින් මුසවා බණන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් පිසුනුබස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් පරොස්බස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් හිස් බස් තෙපලන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් දෘඪලෝභ ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් ව්‍යාපාදයට පත් සිත් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් මිසදිටු ඇත්තාහු වෙති’ යි.
මහණෙනි, පෙර කළ කම් සාර වශයෙන් පිළිගන්නවුනට ‘මෙය කටයුතු ය හෝ මෙය නො කටයුතු ය හෝ’ යි කත්තුකම්‍යතා සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් වේවයි ව්‍යායාමයෙක් වේවයි නො වේ. මෙසේ කරණී නො කරණී සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ ප්‍රථම වූ සකාරණ නිග්‍රහය වේ.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි තෙපි මෙ බඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් පණිවා කරන්නාහු වෙති, ... ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
මහණෙනි, ඊශ්වරනිර්‍මාණය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට මේ කළයුතු කියා වේවයි මෙය නො කළයුතු කියා වේවයි ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති ඒ මහණබමුණන් කෙරෙහි මාගේ මේ දෙවනු වූ සහේතුක නිග්‍රහය වේ.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙබඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘සැබැවැ’යි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු අහේතු අප්‍රත්‍යයෙන් පණිවා කරන්නාහු වෙති, ... අහේතු අප්‍රත්‍යයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
මහණෙනි, අහේතු අප්‍රත්‍යය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට ‘මේ කරණී වේවයි මේ නො කරණී වේවයි’ ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇතිව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ තෙවනු වූ සකාරණ නිග්‍රහය වේ.