3. 2. 2. 8.
18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ තුන් දහමුන්ගේ විශේෂය කවරේ ය, අධිප්‍රාය කවරේ ය, නනස කවරේ යැ? යි මෙසේ විචාරන්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කිමැ යි ප්‍රකාශ කරන්නහු ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැ නු. භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල් අසා භික්‍ෂූහු ධරන්නාහ.
මහණෙනි, එසේ වී නම් අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, එයට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු සුභනිමිත්තය යි කිය යුතු ය.
සුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය උපදනේ ය. උපන්නා වූ ද රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු ප්‍රතිඝනිමිත්තය යි කිය යුතු ය.
ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නුපන්නාවූ ද ද්වේෂය උපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය භාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු නුනුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු ය.
නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය උපදනේ ය. උපන්නා වූ ද මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු අශුභනිමිත්තය යි කිය යුතු වෙයි.
අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය නූපදනේ ය. උපන්නා වූ ද රාගය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් ද්වේෂය නූපදනේ ද, උපන් හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු මෙත්තාචේතෝවිමුත්තිය යි කිය යුතු වෙයි.
මෛත්‍රීචෙතෝවිමුක්තිය නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද ද්වේෂය නූපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන්නාවූ ද ද්වේෂය නූපදනේ වේ ද, උපන්නා වූ හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ? එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු නුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු වෙයි.
නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය නූපදනේ වෙයි. උපන්නා වූ ද මෝහය පහව යන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
3. 2. 2. 9.
19. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශල මූලයෙකි.
මහණෙනි, යම් ලෝභයෙක් වේ ද, හෙ ද අකුශලය. ලුබ්ධ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් පිළියෙළ කරන්නේ නම් එ ද අකුශලය. ලුබ්ධ වූයේ ලෝභයෙන් මඩනා ලද්දේ ලෝභයෙන් ගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි බන්‍ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමානදෝෂයෙකින් දුක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.