3. 2. 2. 7.
17. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වීය’යි අතීත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘අනාගත කාලය මෙසේ වේය’යි අනාගත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේය’යි දැන් ප්‍රත්‍යුත්පන්නය හෝ අරභයා කථා කියන්නේ ය.
මහණෙනි, පුග්ගලයා “කථායෙහි යෝග්‍ය වේ ද, නොහොත් කථායෙහි අයෝග්‍ය වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය. මහණෙනි, ඉදින් ප්‍රශ්න කරණ ලද මේ පුද්ගලයා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නො විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට නො විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් නො විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය නො තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නොවේ.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, නොහොත් කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුයි. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි නො සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි නො සිටුනේ ද, දැන සිටි වාදයෙහි නො සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි නො සිටුනේ ද, මෙසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි,
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි සිටුනේ ද, දැන සිටි වාදයෙහි සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි සිටුනේ ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවෙකින් අන්‍යකථාව නො වසාලයි ද, එයින් ම බැහැරට කථාව නො නෙරයි ද, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පහළ නොකෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා කෙරේ ද, කරුණු එළවා කථාව මැඩ පියා ද, අත් පැහැර මහා හාස්‍ය කෙරේ ද, සංඛලිතය ඇද ගණී ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වේ.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා නො කෙරේ ද, කරුණු එළවා කථා ව නො මැඩපියා ද, අත් පැහැර මහා හාස්‍ය නො කෙරේ ද, සංඛලිතය නො ගණී ද, එසේ වත් ම මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
මහණෙනි, පුද්ගල තෙමේ “උපනිඃශ්‍රය සහිත වේ ද, උපනිඃශ්‍රය රහිත වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය.
මහණෙනි, යොමු නො කළ කන් ඇතියෙ උපනිඃශ්‍රය නැතියෙ නම් වෙයි. යොමු කළ කන් ඇතියේ උපනිඃශ්‍රය ඇතියේ නම් වෙයි. හේ උපනිඃශ්‍රය ඇතියේ එක් කුසල් දහමක් වූ අරීමග දනී. එක් දහමක් වූ දුඃඛසත්‍ය තීරණය කොට දනී. එක් දහමක් වූ සර්‍වාකුශලය දුරු කෙරෙයි. එක් දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙ යි. හේ එක් දහමක් වූ අරීමග දන්නේ, එක් දහමක් වූ දුඃඛසත්‍යය තීරණය කොට දන්නේ, එක් දහමක් වූ සර්‍වාකුශලය හරනේ, එක දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කරණුයේ සම්‍යක් විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵල විමෝක්‍ෂය ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
මහණෙනි, යම් මේ චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් වේ ද, කථාව මෙ අර්‍ත්‍ථ කොට ඇත. මන්ත්‍රණාව මේ අර්‍ත්‍ථ කොට ඇත. උපනිසාව මේ අර්‍ත්‍ථ කොට ඇත, කන් නතු කිරීම මේ අර්‍ත්‍ථ කොට ඇත.
23. යම් කෙනෙක් කෝපයෙන් විරුද්ධ වූවාහු එහි බැසගත්තාහු මානයෙන් නගන ලද්දාහු උනුන් සිදුරු සොයන්නාහු ගුණ ඝටා අනාර්‍ය්‍ය කථාව අල්ලාප සල්ලාප විසින් කෙරෙත් ද,
24. ඔහු උනුන්ගේ දුර්‍භාෂිතය මුඛදෝෂ ආදි අල්පසඛලිතය මුළාව පරාජය ගෙණ සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙමේ එබඳු කථාව නො කරන්නේ ය.
25-26. ඉදින් කථාවට කැමති වන්නේ වී නම් නිසි කල් දැන ධීර වූ අවිරුද්ධ වූ මානයෙන් නො හුවන ලද ඒ පණ්ඩිත තෙමේ අනුද්ධත සිතින් යුගග්‍රාහ රහිත ව ලාහෙළාකම් නැතිව ධර්‍මස්ථ වූත් ධර්‍මප්‍රතිසංයුක්ත වූත් යම් ආර්‍ය්‍යකථායෙක් ඇද්ද, ඒ කථාව කියන්නේ ය.
27. ඒ පණ්ඩිත තෙමේ ඊර්‍ෂ්‍යා රහිත සිතැත්තේ මොනොවට දැන බෙණේ. සුභාෂිතය අනුමෙව්නේය. දුර්‍භාෂිතයෙහි ලා නො බස්නේ ය.
28. කරණොත්තරකරණ ලක්‍ෂණ උපාරම්භය ශික්‍ෂණ විසින් නො ගන්නේය. පමාදොස නො ගන්නේ ය. (මෙරමා කථාව වළහා) කරුණු නො එළවන්නේ ය. (මෙරමා කථාව) නො මඬනේ ය. සත්‍යාසත්‍යප්‍රතිසංයුක්ත තෙපුල නො බණන්නේය.