3. 2. 2. 5.
15. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහත්වූ බික්සඟන හා කොසොල් රට සැරිසරා වඩනා සේක් කාලාම ක්ෂත්රියයන්ගේ කේසපුත්ත නම් නියම්ගමට වැඩි සේක. කේසපුත්ත නියම්ගම් වැසි කාලාමක්ෂත්රියයෝ “පින්වත්නි, ශාක්යපුත්ර වූ ශාක්යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම්ගමට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්හත්හ, සම්යක්සම්බුද්ධයහ ... මෙසේ උතුම් වූ කීර්තිශබ්දය ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්ශනය මනා මැ නු” යි ඇසුවාහුය.
ඉක්බිති කේසපුත්ත නියම්ගම්වැසි කාලාමක්ෂත්රියයෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම්ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූතව එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් කේසපුත්ත නියම්ගම්වැසි කාලාම ක්ෂත්රියයෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ. “වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු ස්වකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබ්ධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, එ අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්කාග්රාහයෙනුදු නොගණුව, නයග්රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්යයෙකැයි) භව්යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිතතුළ උපදනුයේ ඔහුට වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ දැයි ඇසූ සේක. වහන්ස, අහිත පිණිස වේ යයි කීහ.
කාලාමයෙනි, ලෝභී වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුවන් කරා ද යේ. මුසවා ද බෙණේ. මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ද්වේෂය පුරුෂයාගේ සිතෙහි උපදනුයේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේ ද? වහන්ස, අහිත පිණිස උපදනේය.
කාලාමයෙනි, මේ ද්විෂ්ට වූ පුරුෂපුද්ගල ද්වේෂයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු වූ පණිවාත් කෙරේ ... මෙරමා ද එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද? වහන්ස, අහිත පිණිස උපදනේය.
කාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද? වහන්ස, අකුසල්හ.
සාවද්ය හෝ වෙත් ද? අනවද්ය හෝ වෙත් ද? වහන්ස, සාවද්යයහ.
නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද? වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.
පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.
කාලාමයෙනි, මෙසේ යම් එ බසක් කීමෝ ද: ‘තෙපි එව, අනුශ්රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, ‘තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්කාග්රාහයෙනුදු නොගණුව, නයග්රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්යයෙකැ’යි) භව්යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.