3. 2. 2. 4.
14. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි සරභ නම් පිරිවැජි මෙසස්නෙන් බැහැරගිය නොබොහෝකලැ. රජගහනුවර පිරිසෙහි “මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. මම ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” යි. මෙසේ තෙපුල් බෙණෙයි.
එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. ඒ භික්ෂූහු රජගහනුවර පිරිස්මැද “මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලන සරභ පිරිවැජියාගේ වචනය ඇසූහ.
ඉක්බිති ඒ භික්ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර පැසුළු බත්හි පිණ්ඩපාතයෙන් වැළැකුනාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, සරභ පිරිවැජි මේ ශාසනයෙන් බැහැර ගිය නොබෝ කල් ඇති වෙයි. හේ රජගහනුවර පිරිස්මැද “ම විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් පහව සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලයි. “වහන්ස, භාග්යවතුන් වහන්සේ සප්පිනිකාතීරයෙහි පරිව්රාජකාරාමයෙහි සරභ පිරිවැජියා කරා අනුකම්පා සඳහා වඩනාසේක් නම් මනා මැ නු” යි කීහ. භාග්යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගී සිටි සේක් සප්පිනිකා හෝතෙර පිරිවැජි අරම කරා සරභ පිරිවැජියා වෙත එළඹි සේක. එළැඹ, පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ ම “සැබව, සරභය? තෝ මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් පහව සිටිමි” මෙසේ කියයි දැයි වදාළ සේක. එසේ වදාළ කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වීය.
දෙවනවටත් භාග්යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම් මම එය පරිපූර්ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. දෙවනවටත් සරභ පරිව්රාජක තුෂ්ණීම්භූත වීය.
තෙවනවටත් භාග්යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම් මම එය පරිපූර්ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. තෙවනවටත් සරභ පරිව්රාජක තුෂ්ණීම්භූත වීය.
ඉක්බිති ඒ පිරිවැජියෝ සරභ පිරිවැජියාහට “ඇවැත සරභය, තෝ යමක් ම මහණගොයුම්හු (අතින්) යදනෙහි නම් එය ම මහණගොයුම්හු තට පවරති. කිය ඇවැත සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම්, මහණ ගොයුම්හු එය පරිපූර්ණ කරන්නාහ. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම්, එය මහණ ගොයුම්හු අනුමෝ වන්නාහ” යි තෙල කීහ. මෙසේ කී කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වූයේ නිතෙද වූයේ කරබාගත්තේ යට බලාලූ මුව ඇතියේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හුන්නේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සරභ පිරිවැජියා තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු කරබාගත්තහු යටට හෙළූ මුව ඇත්තහු සිතුවිලි සිතන්නහු වැටහෙන නුවණ නැත්තහු දැන ඒ පිරිවැජියනට තෙල වදාළ සේක:
පිරිවැජියෙනි, “සම්යක් සම්බුද්ධයෙමියි පිළිණ කරණ තොප විසින් මේ ධර්මයෝ අනභිසම්බුද්ධයහ”යී යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් ප්රශ්න විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. හෙ මා විසින් මොනොවට විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, මොනොවට කියනු ලබන්නේ යම් හෙයෙකින් හෙ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථාවක් ලා ප්රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද රහිත වූයේ කරබාගත්තේ යටිකුරු කළ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ (වැටහෙන) නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන මේ තුන් කරුණෙන් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙකි. නොවිය හැක්කෙකැ යි වදාළ සේක.