3. 2. 2. 3.
13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා සමග කොසොල්දනවුහි සැරිසරණ සේක් කොසොල්දනවුයෙහි වේනාගපුර නමැති බමුණුගමට වැඩි සේක. වේනාගපුර වැසි බමුණුගැහැවියෝ “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි වේනාගපුරයට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව “මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරයහ. පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භාග්‍යවත්හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සියො දෙවිමිනිසුන් සියො සත්ත්‍ව ප්‍රජාව ද තුමූ ම අධිකඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදී කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට පිරිසුදු කොට දහම් දෙසති. බඹසර පවසති. මෙබඳු උතුම් වූ කීර්තිශබ්දයෙක් ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු!” යි ඇසුවාහු ම ය.
ඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් වේනාගපුර වැසි වච්ඡගොත්ත බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙක. භවත් ගෞතමයෙනි, අද්භූතයෙක. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ ඉමහත් සේ පහන් වූවාහු වෙති. ඡවිවර්‍ණය මහත් සේ පිරිසිදුය. ඉතා ප්‍රභාස්වරය.
භවත් ගෞතමයන් වහන්ස, යම්සේ සරත් කල්හි හටගත් විලිකුන් නොවූ ඩෙබරපක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වෙති. ඡවිවර්‍ණය පිරිසිදුය. ප්‍රභාස්වර ය. භවත් ගෞතමයෙනි, යම්සේ එකෙණෙහි නටුයෙන් ගිළිහුන විලිකුන් තල්පක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය”.
“භවත් ගෞතමයෙනි, නිපුණ වූ කඹුරූදරුවක්හු විසින් මොනොවට පිරියම් කළ, කෝවෙහි පිස දක්‍ෂ රන්කරුවකු විසින් මොනොවට කොළන ලද දඹරන් නිකෙක් රත්පලසෙක්හි තබන ලද්දේ යම්සේ බබළා ද, දිලිසේ ද, රස් විහිදුවා ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය.
භවත් ගෞතමයෙනි, දික් පා ඇති හැඳිය, පලඟය, සතරඟුලෙන් දික් ලොම් ඇති මහකොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදුපුප් ඇතිරිය, එළුලොම්මුවා ඝනපුප් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දාවළු ඇති) දෙදා ඇතිරිය, (එක්පස දාවළු ඇති) එක්දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතුරුණ, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතුරුණ, සොළොස් නළුවනට නැටිය හැකි අවන් මහඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස් පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ පසතරණ, ඉස්දොර පාමුල රන්කන්වයින් (කොට්ට) ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් මැ උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, භවත් ගෞතමයෝ මෙබඳු උසසුන් මහඅසුන් රිසිසේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. මහත්සේ ලබන සුල්ලහ”.
[භගවත්හු:]
බමුණ, දික් පා ඇති හැඳිය, පයැ වළරූ ගැන්වූ පලඟය, දික් ලොම් ඇති කොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුපුප් ඇතිරිය, ඝනපුප් එළුලොම් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දා ඇති) දෙදා ඇතිරිය, (එක්පස දා ඇති) එක් දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතරණය, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතරණය, සොළොස් නළුවනට නැටිය හැකි අවන්මහ ඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස්පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ ඇතිරිය, ඉස්දොර පාමුල රන්කන්වයින් ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් ම උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, පැවිද්දනට ඒ අසුන්හු දුර්‍ලභයහ. ලැබ ද නො කැප වෙති.
බමුණ, මම දැන් යම් උසසුන් මහසුන් කෙනකුන් රිසිසේ ලබන සුල්ලෙම් ද, නිදුකින් ලබන සුල්ලෙම් ද, මහත්සේ ලබන සුල්ලෙම් ද, මේ උසසුන් මහඅසුන් තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: දිව්‍ය උසසුන් මහසුනැ, බ්‍රාහ්ම උසසුන් මහසුනැ, ආර්‍ය්‍ය උසසුන් මහසුනැ. බමුණ, දැන් යම් බඳු වූ උසසුන් මහසුන් කෙනකුන් මම රිසිසේ ලබන සුල්ලෙම් නම්, නිදුකින් ලබන සුල්ලෙම් නම්, මහත් සේ ලබන සුල්ලෙම් නම්, මේ එ උසසුන් මහසුන් තුන් දෙන වෙත්.