3. 2. 2. 2.
12. මහණෙනි, (මවු පුතුන් උනුන් රැකගත නොහෙන බියයි කියන ලද) මේ අමාතෘපුත්රක බිය තුණකැ යි අශ්රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක මහත් අග්නිදාහයෙක් නඟී ද එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් අග්නිදාහයෙක් නැඟී සිටි කල්හි එයින් ගම්හුදු දැවෙති. නියම්ගම්හුදු දැවෙති. නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නුවර ද දැවෙන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මේ පළමුවන අමාතෘපුත්රක භයය යි අශ්රැතවත් පෘථග්ජන තෙම කියයි.
තවද මහණෙනි, යම් කලෙක්හි මහත් මේඝයෙක් නැඟේ ද එබඳුවූ කාලයෙක් වේ. මහණෙනි, මහත් මේඝය නැගි කල්හි මහ ගංවතුරෙක් නැගෙයි. මහණෙනි, මහගංවතුරු නැඟිකල්හි එයින් ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි නියම්ගමුදු හයනු ලබන කල්හි නුවරුදු හයනු ලබන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මෙය දෙවන අමාතෘපුත්රක භයයි අශ්රැතවත් පෘථග්ජන තෙම කියයි.
තවද මහණෙනි, යම් කලෙක්හි කඩපලා සොර බියෙක් වේ නම්, චක්රාරූඪ වූ දනව් වැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ යෙත් නම් පලායෙත් නම් එබඳු කාලයෙක් ද වේ මය. මහණෙනි, කඩපලා සොරබිය ඇති කල්හි චක්රාරූඪ වූ දනව් වැස්සන් හිස් ලූ ලූ අත ඔබමොබ පලා යන කල්හි එහි මවු දු පුතු නොලැබෙයි. පුතු දු මව නොලැබෙයි. මහණෙනි, මෙය තෙවන අමාතෘපුත්රක භයයි අශ්රැතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මේ තුණ වනාහි අමාතෘපුත්රක භයයි අශ්රැතවත් පෘථග්ජන තෙම කියයි.
මහණෙනි, සමාතෘපුත්රක වූ ම ඒ තුන් බියක් අමාතෘපුත්රක භය යි අශ්රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක්හි මහත් වූ අග්නිදාහයෙක් නැගේ නම් එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් වූ ගින්නෙන් දැවීම ඇති කල්හි එයින් ගමුදු ... නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නගර දු දැවෙන කල්හි යම් හෙයෙකින් කිසියම් කලෙක මව පුතා ලැබේ ද, පුතා ද මව ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ පළමුවන සමාතෘපුත්රක වූ ම බිය අමාතෘපුත්රක භය යි අශ්රැතවත් පෘථග්ජන කියයි.
තවද මහණෙනි, යම් කලෙක මහාමේඝය නැගේ නම් එබඳු කාලයෙක් ද වෙයි. මහණෙනි, මහාමේඝය නැගිකල්හි ම මහ ගංවතුරු නැගෙයි. මහ ගංවතුරු නැගිකල්හි ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි, නියම්ගමුදු හයනු ලබන කල්හි, නගර දු හයනු ලබන කල්හි යම් හෙයෙකින් කිසි විටෙක මවත් පුතා ලැබේ ද, පුතාත් මවු ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ වනාහි සමාතෘපුත්රක වූ ම දෙවන බිය අමාතෘපුත්රක බියැයි අශ්රැතවත් පෘථග්ජන කියයි.
තවද මහණෙනි, යම් හෙයෙකින් කඩපලා සොර බියෙක් වේ ද, චක්රසමාරූඪ වූ දනවුවැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ පලා යෙද් ද, එබඳු කාලයෙක් වේ මය. මහණෙනි, කඩපලා සොර බිය ඇති කල්හි චක්රසමාරූඪ වූ දනවුවැස්සන් හිස් ලූ ලූ අත පලා යන කල්හි යම් හෙයෙකින් කිසිකලෙක මවුදු පුතා ලැබේ නම්, පුතු ද මව ලැබේ නම්, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මෙබඳු මේ තෙවන සමාතෘපුත්රක වූ ම බිය අමාතෘපුත්රක වූ භය යි අශ්රැතවත් පෘථග්ජන කියයි. මහණෙනි, මේ සමාතෘපුත්රක වූ ම තුන් බිය අමාතෘපුත්රක භය යි අශ්රැතවත් පෘථග්ජන කියයි.
මහණෙනි, මේ අමාතෘපුත්රක භය තුණෙකි. කවර තුණෙක යත්: ජරාභය, ව්යාධිභය, මරණභය යන තුණ යි. මහණෙනි, මවු ජරායෙන් දිරන පුතු (දැක) “මම දිරම්වා, මා පුතු නහමක් දිරාව” යි යන මෙබන්දක් නො ලැබෙයි. පුතා හෝ ජරායෙන් දිරන මව (දැක) “මම දිරම්වා, මා මවු නහමක් දිරාව” යි යන මෙබන්දක් නොලැබෙයි.
මහණෙනි, මවු රොවින් පෙළෙනු වූ පුතු (දැක) “මම පෙළෙම්වා, මාගේ පුතු නහමක් පෙළේ”ව යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා ද රොවින් පෙළෙන මවු දැක “මම පෙළෙම්වා, මාගේ මවු නහමක් පෙළේව” යි යන මෙබන්දක් නොලැබෙයි.
මහණෙනි, මවු ද රොවින් මැරෙනු වූ පුතු (දැක) “මම මියෙම්වා, මාගේ පුතු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා හෝ මැරෙන වූ මවු (දැක) “මම මියෙම්වා, මාගේ මවු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. මහණෙනි, මේ අමාතෘපුත්රක වූ බිය තුණ ය.
මහණෙනි, මේ සමාතෘපුත්රක වූ තුන් බිය ද අමාතෘපුත්රක වූ තුන් බිය ද ප්රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස යමෙක් පවත්නේ නම්, එ මාර්ගය ඇත. එ ප්රතිපත්තිය ඇත. මහණෙනි, මේ සමාතෘපුත්රක වූ තුන් බිය ද මේ අමාතෘපුත්රක වූ තුන් බිය ද ප්රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස (යමෙක්) පවත්නේ නම්, එ මාර්ගය කවරෙයැ: ඒ ප්රතිපත්තිය කවරෙ යැ: එ මේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය මැ යි. ඒ කෙසේ යැ: සම්යග්දෘෂ්ටිය ... සම්යක්සමාධිය (යන මේ අටයි) මහණෙනි, මේ සමාතෘපුත්රක වූ තුන් බිය ද, මේ අමාතෘපුත්රක වූ තුන් බිය ද ප්රහාණය කරණු පිණිස මොනොවට ඉක්මෙනු පිණිස (යමක්) පවත්නේ නම්, මේ ඒ මාර්ග යි. මේ ඒ ප්රතිපත්ති යි.