10. 4. 2. 9.
සපරික්කමන සූත්‍රය
මහණෙනි, මේ ධර්‍මය පරිවර්‍ජන සහිත වෙයි, මේ ධර්‍මය පරිවර්‍ජන රහිත නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන සහිත වේය යත්: මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන රහිත නොවේය යත්:
මහණෙනි, ප්‍රාණඝාතී හට ප්‍රාණඝාතවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, අදින්නාදායී හට අදින්නාදානවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, කාමමිථ්‍යාචාරීහට කාමමිථ්‍යාචාරවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, මුසාවාදී හට මුසාවාදවිරමණය පරිවර්‍ජනය වෙයි.
මහණෙනි, පිසුනුබස් ඇත්තහුට පිසුනු බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, පරොස් බස් ඇත්තහුට පරොස් බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, සම්ඵප්‍රලාප ඇත්තහුට සම්ඵප්‍රලාපයෙන් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, අභිධ්‍යා ඇත්තහුට අනභිධ්‍යාව පරික්‍රමණය වෙයි. මහණෙනි, ව්‍යාපාද ඇත්තහුට අව්‍යාපාදය පරික්‍රමණය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට සම්‍යග්දෘෂ්ටිය පරික්‍රමණය වෙයි.
මහණෙනි, මෙසේ මේ ධර්‍මය සපරික්‍රමණ වෙයි. මේ ධර්‍මය අපරික්‍රමණ නො වේ ය යි.
10. 4. 2. 10.
චුන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා හි චුන්‍දකර්‍මාර පුත්‍රයාගේ අඹවෙනෙහි වැඩ වසන සේක. එකල චුන්‍ද කර්‍මාරපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: චුන්‍දය, තෝ කවරකුගේ සුචිභාවයන් රුස්නෙහි දැ යි.
වහන්ස, පශ්චාද්භූමි වැසි කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පනවත්. වහන්ස, මම ඔවුන්ගේ සුචිභාවයන් රුස්නෙමි යි.
චුන්‍දය, කෙසේනම් පශ්චාද්භූමිවාසී කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත්දැයි?
වහන්ස, මෙහි පශ්චාද්භූමක වූ කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බමුණෝ මෙසේ සව්වන් සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෝ කල් ඇතිව ම යහනින් නැගිටුනේ පොළොව පිරිමදනෙහි, ඉදින් පොළොව නො පිරිමදනෙහි නම් අමුගොම පිරිමදනෙහි, ඉදින් අමුගොම නො පිරිමදනෙහි නම් නිල් තණ පිරිමදනෙහි.