2. ජාණුස්සෝණි වර්‍ගය
10. 4. 2. 1.
බ්‍රාහ්මණ පච්චෝරෝහණී සූත්‍රය
එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ නවකොමුපිළී යුවළක් හැඳ අමු හීතණ මිටක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි එකත්පස් ව සිටියේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ එ පොහෝ දවස්හි ශීර්‍ෂ ස්නාන කළ නවකොමු පිළී සඟලක් හැඳි අමු හීතණ මිටක් ගෙන එකත්පසෙක සිටි ජාණුස්සෝණි බමුණු දුටු සේක. දැක ජාණුස්සෝණි බමුණුහට තෙල කරුණ වදාළ සේක:
බ්‍රාහ්මණය, තෝ එපොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ, නවකොමු පිළී සඟලක් හැඳ අමු හීතණ මිටක් ගෙන කවර හෙයින් එකත්පස්හි සිටියෙහි දැ’යි? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයට කුමක් වේ දැයි?
භවත් ගෞතමයන්වහන්ස, අද බ්‍රාහ්මණ කුලයට පාපයන්ගේ ප්‍රත්‍යවරෝහණීය (ශෝධනය) වේ යයි.
බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණීය කවර පරිද්දෙකින් වේ දැයි?
භවත් ගෞතමයන්වහන්ස, මෙ ලොව්හි බමුණෝ ඒ පොහෝ දවස්හි හිස් සෝදා නහා නවකොමුපිළී සඟල හැඳියාහු අමු ගොමින් බිම පිරිබඩ කොට නිල් කුසතණින් අතුරා වැලි ඉවුරු හා ගිනිහල් ගෙය හා අතර ශය්‍යා කෙරෙත්. ඔහු ඒ රෑ තෙවරක් නැඟි සිට බැඳිලි ව ගිනිදෙවි වඳනාහ. “භවත්හට ප්‍රත්‍යවරෝහණීය (පාපශෝධනය) කරම්හ, භවත්හට ප්‍රත්‍යවරෝහණය කරම්හ” යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු ගිනිදෙවියා සතප්වති. එ රෑ ඇවෑමෙන් ඒ පිණී කෑ යුතු දැයින් හා බිඳිය යුතු දැයින් බුමුණනුදු සතප්වති. භවත් ගෞතමයන්වහන්ස, මෙසෙයින් බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි වේ යයි.
භවත් ගෞතමයන්වහන්ස, ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය කිසෙයින් වේ දැයි? භවත් ගෞතමයන් වහන්සේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි යම් පරිදි ප්‍රත්‍යවරෝහණය වේ නම් එ පරිදි මට දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
බමුණ, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි පින්වතුන් වහන්ස, එසේයැ යි. ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
බමුණ, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය. පණිවායෙහි ලාමක විපාක ඉහාත්මයෙහිත් අභිසම්පරාහිත් වේ මැ යි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැරලයි. පණිවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. අයිනාදන්හුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අයිනාදන් හැර ල යි. අයිනාදනින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. කාමයෙහි මිසහසරෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හෙ මෙසේ නුවණින් සලකා කාමයෙහි මිසහසර හැරලයි. කාමයන්හි මිසහසරින් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. මුසවායෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මුසවා හැරලයි. මුසවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පිසුණු බස් හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පිසුනු බස් හැර ලයි. පිසුනු බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පරොස්බස්හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පර හි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පරොස්බස් හැරලයි. පරොස් බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. සම්ඵප්‍රලාපයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා සම්ඵප්‍රලාපය හැරලයි. සම්ඵප්‍රලාපයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. අභිධ්‍යාවගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අභිධ්‍යා හැරලයි. අභිධ්‍යායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. ව්‍යාපාදයාගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා ව්‍යාපාදය හැරලයි. ව්‍යාපාදයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැරලයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. බමුණ මෙසේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
පින්වත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි ම වෙයි. ආර්‍ය්‍යවිනයෙහි එන මේ ප්‍රත්‍යවරෝහණය සොළොස්වන කලාවට ද බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය නො අගනේ යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද සිට මා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගිය උවසු කොට දරන සේක් ව යි.