4. සතරවන පණ්ණාසකය
1. පුග්ගල වර්‍ගය
10. 4. 1. 1.
සේවිතබ්බ සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වෙයි. කවර දස කරුණෙකින යත්: මිථ්‍යාදෘෂ්ටික වෙයි, මිථ්‍යා සඞ්කල්ප ඇතියේ වෙයි, මිථ්‍යාවචන ඇතියේ වෙයි, මිථ්‍යා කර්‍මාන්ත ඇතියේ වෙයි, මිථ්‍යාආජීව ඇතියේ වෙයි, මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි, මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි, මිථ්‍යාසමාධි ඇතියේ වෙයි, මිථ්‍යාඥාන ඇතියේ වෙයි, මිථ්‍යාවිමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වේ යයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල සෙවියයුත්තේ වෙයි, කවර දස කරුණෙකින යත්: සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, සම්‍යග්සඞ්කල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුතු වේ යයි.
10. 4. 1. 2-12.
භජිතබ්බාදි එකොළොස් සූත්‍රයෝ
2. මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත පුද්ගල භජිතව්‍ය නො වෙයි ... භජිතව්‍ය වෙයි.
3. පර්‍ය්‍යුපාසිතව්‍ය නොවෙයි ... පර්‍ය්‍යුපාසිතව්‍ය වේ.
4. පූජ්‍ය නො වෙයි ... පූජ්‍ය වේ.
5. ප්‍රශංසාර්‍හ නො වෙයි ... ප්‍රශංසාර්‍හ වේ.
6. ගෞරව නැතියේ වෙයි ... ගෞරව සහිත වේ.
7. ප්‍රතිශය නැතියේ වෙයි ... ප්‍රතිශය සහිත වේ.
8. අනාරාධකවෙයි … ආරාධක වේ.
9. විශුද්ධ නො වෙයි … විශුද්ධ වේ.
10. මානස මඩනේ ය ... මානස නො මඩනේයි.
11. ප්‍රඥා නො වඩනේ ය ... ප්‍රඥා වඩනේ යි.
12. බොහෝ පව් රැස් කෙරෙයි ... බොහෝ පින් රැස් කෙරේ ... කවර දසයෙකින යත්: සම්‍යග්දෘෂ්ටික වෙයි, සම්‍යග්සංකල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කෙරේ යයි.
පළමුවැනි පුද්ගල වර්‍ග යි.