10. 4. 2. 10.
චුන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා හි චුන්‍දකර්‍මාර පුත්‍රයාගේ අඹවෙනෙහි වැඩ වසන සේක. එකල චුන්‍ද කර්‍මාරපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: චුන්‍දය, තෝ කවරකුගේ සුචිභාවයන් රුස්නෙහි දැ යි.
වහන්ස, පශ්චාද්භූමි වැසි කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පනවත්. වහන්ස, මම ඔවුන්ගේ සුචිභාවයන් රුස්නෙමි යි.
චුන්‍දය, කෙසේනම් පශ්චාද්භූමිවාසී කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත්දැයි?
වහන්ස, මෙහි පශ්චාද්භූමක වූ කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බමුණෝ මෙසේ සව්වන් සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෝ කල් ඇතිව ම යහනින් නැගිටුනේ පොළොව පිරිමදනෙහි, ඉදින් පොළොව නො පිරිමදනෙහි නම් අමුගොම පිරිමදනෙහි, ඉදින් අමුගොම නො පිරිමදනෙහි නම් නිල් තණ පිරිමදනෙහි.
ඉදින් නිල්තණ නො පිරිමදනෙහි නම් අග්නිපරිචරණය කරනෙහි. ඉදින් අග්නිපරිචරණය නො කරනෙහි නම් බදැඳිලි ව හිරු නමදනෙහි. ඉදින් බදැඳිලි ව හිරු නො නමදනෙහි නම් සවස තෙවැනි කොට උදකාවරෝහණ කරනෙහි”යි. වහන්ස, මෙසේ පශ්චාද්භූමක, කමඬලා දරන සෙවෙල්මල්දම් පළඳින, අග්නිපරිචරණය කරන උදකාවරෝහණය කරණ බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත් යි. ඔවුන්ගේ ඒ සුචිභාවයන් කැමැත්තෙමි යි.
චුන්‍දය, පච්ඡාභූමි වැසි කමඬලා දරණ සෙවෙල් දම් පළඳින අග්නිපරිචරණය කරන උදකාවරෝහණයෙහි යෙදෙන බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් සුචිභාවයන් පනවත්. ආර්‍ය්‍යවිනයෙහි වනාහි සුචිබව අන්පරිද්දෙකින් වේ ය යි.
වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි සුචිබව කෙසේ වේ ද? වහන්ස, යම් පරිදි ආර්‍ය්‍යවිනයෙහි සුචිබව වේ නම් භාග්‍යවතුන් වහන්සේ මට එපරිදි දහම් දෙසනසේක් නම් මැනැවැයි.
චුන්‍දය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, දෙසන්නෙමියි. එසේය වහන්සැයි චුන්‍දකර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
චුන්‍දය, කයින් ත්‍රිවිධඅශූචිභාවයෙක් වෙයි, වචනයෙන් චතුර්විධ අශූචිභාවයෙක් වෙයි, මනසින් ත්‍රිවිධ අශූචිභාවයෙක් වේ.
චුන්‍දය, කයින් ත්‍රිවිධ අශූචිභාවය කිසේය යත්:
1. චුන්‍දය, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම් හා පැහැරුම්හි නිවිෂ්ට වූයේ සව්සතුන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණාඝාතී වෙයි.
2. අයිනාදන් කරන සැහැවි ඇතියේ වෙයි: ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි යම් මෙරමා සතු වස්තුපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ නොදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර ඇතියේ වෙයි: මාතෘරක්‍ෂිතාය, පිතෘරක්‍ෂිතාය, මාතෘපීතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්‍ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
චුන්‍දය, මෙසේවනාහි කයින් අශූචීභාවය වේ.