10. 4. 2. 6.
දුතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය යි. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල් ඇතිවත් ම එ මහණුනට තෙල සිත විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක, “මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ අර්‍ත්‍ථ හා දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය” යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි?
ඉක්බිති එ මහණුනට තෙල සිත විය.
“මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෲන් විසිනුදු සංවර්ණිතයහ. විඥසබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභජනය කිරීමට පොහෝනේත් වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, යම් සෙයකින් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට ව්‍යාකරණ කෙරෙත් නම් එ සෙයින් එය ධරන්නමෝ නම් යෙහෙකැ”යි.
එ කල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් සමඟ සතුටු වුහ. සතුටු වියයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට තෙල සැළකළහ:
“ඇවැත් කාත්‍යායනයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිය හ, මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය’යි. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ කල් වත් ම තෙල අදහස විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේස උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැගී විහාරයට වන් හ, මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ ද අර්‍ත්‍ථය යම් පරිදි වේ ද එසේ පිළිපැදිය යුතුය’ යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් විභාග කෙරේදැ”යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය.
“මේ ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරණුවෝ ශාස්තෘන්වහන්සේ විසිනුදු සංවර්ණිතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභාග කරන්නට පොහෝනාහු වෙති. අපි ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට යම් පරිදි ව්‍යාකරණ කෙරෙත් නම් එ පරිදි එය දරමෝ නම් ඉතා යෙහෙකැ”යි. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ විභජනය කෙරෙත්වා යි
“ඇවැත්නි, යම් පරිදි හරයෙන් අර්‍ත්‍ථ ඇති සාරය සොයන සාරපර්‍ය්‍යෙෂණය කරන පුරුෂයෙක් හර ඇති සිටුනා මහරුකක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතුපතරෙහි සාරය සෙවිය යුතු කොට හඟනේ නම් මෙ එබඳු උපමායෙකි. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ සම්මුඛීභූත වත් ම එ භගවත්හු ඉක්ම අප තෙල අරුත් පිළිවිසිය යුතු කොට හඟනාහුය. ඇවැත්නි, දන්නා වූ ම ඒ භාග්‍යවත්හු දන්නා හ. දක්නාහු ම දක්නා හ. චක්‍ෂූර්භූත වූ ඤාණභූත වූ ධර්‍මභූත වූ බ්‍රහ්මභූත වූ තථාගතයෝ වක්තෘ හ. ප්‍රවර්තෘ හ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘ හ. අමෘතයගේ දාතෘ හ. ධර්‍මස්වාමී හ. යම් හෙයකින් තෙපි භාග්‍යවතුන් වහන්සේ ම කරා එළඹ තෙල අරුත් පුළුවුස්නහු නම් තෙල කරුණ පිණිස එම කල් විය. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට ව්‍යාකරණ කරන සේක් නම් එ පරිදි එය දරව” යි.