10. 4. 2. 7.
තතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන යම් පරිදි ධර්‍මය වේ නම් යම් පරිදි අර්‍ත්‍ථය වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය කවර, ධර්‍මය කවර: අනර්‍ත්‍ථය කවර, අර්‍ත්‍ථය කවර: මහණෙනි, ප්‍රාණඝාතය අධර්‍ම යි. ප්‍රාණඝාතයෙන් විරමණය ධර්‍ම යි. ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. ප්‍රාණඝාතයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
මහණෙනි, අදින්නාදානය අධර්‍ම යි. අදින්නාදානයෙන් විරමණය ධර්‍මයි ... මහණෙනි, කාමමිථ්‍යාචාරය අධර්‍ම යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, මුසාවාදය අධර්‍ම යි. මුසාවාදයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, පිසුනුබස් අධර්‍ම යි. පිසුනු බසින් වෙන්වීම ධර්‍ම යි ... මහණෙනි, පරුෂවචන අධර්‍මයි ... පරුෂවචනයෙන් වෙන්වීම ධර්‍මයි ... මහණෙනි, සම්පප්‍රලාපය අධර්‍ම යි. සම්ඵප්‍රලාපයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, අභිධ්‍යා අධර්‍ම යි. අනභිධ්‍යා ධර්‍ම යි ... මහණෙනි, ව්‍යාපාදය අධර්‍ම යි. අව්‍යාපාදය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යග්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මේ අර්‍ත්‍ථ යි.
“මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතු ය, අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතු ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය”යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලද්දේ යි.
10. 4. 2. 8.
කම්මනිදාන සූත්‍රය
මහණෙනි, මම ප්‍රාණඝාතය ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම අදින්නාදානය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යී. මහණෙනි, මම කාමමිථ්‍යාචාරය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම මුසාවාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝස හේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම පිසුණුබස ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම පරොස්බස් ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම සම්ඵප්‍රලාප ද ත්‍රිවිධ කොට කියමි: ලෝභ හේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම අභිධ්‍යාව ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම ව්‍යාපාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම මිථ්‍යාදෘෂ්ටි ය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුකය, මෝහහේතුකය යි.
මහණෙනි, මෙසේ වනාහි ලෝභය කම්මනිදානසම්භව වෙයි. දෝසය කම්මනිදාන සම්භව වෙයි. මෝහය කම්මනිදානසම්භව වෙයි. ලොභක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි. දෝෂක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි, මෝහක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වේ යයි.
10. 4. 2. 9.
සපරික්කමන සූත්‍රය
මහණෙනි, මේ ධර්‍මය පරිවර්‍ජන සහිත වෙයි, මේ ධර්‍මය පරිවර්‍ජන රහිත නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන සහිත වේය යත්: මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන රහිත නොවේය යත්:
මහණෙනි, ප්‍රාණඝාතී හට ප්‍රාණඝාතවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, අදින්නාදායී හට අදින්නාදානවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, කාමමිථ්‍යාචාරීහට කාමමිථ්‍යාචාරවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, මුසාවාදී හට මුසාවාදවිරමණය පරිවර්‍ජනය වෙයි.