10. 4. 2. 4.
ඔරිමතීර සූත්රය
මහණෙනි තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසමි, ඒ අසවු ... මහණෙනි, ඔරිමතීරය හා කවරේය යත්? පාරිමතීරය කවරේය යත්?
මහණෙනි, ප්රාණඝාතය ඔරිමතීරයි, ප්රාණඝාතයෙන් විරමණය පාරිමතීරයි. අදින්නාදානය ඔරිම තීරයි, අදින්නාදානයෙන් විරමණය පාරිමතීරයි. කාමමිථ්යාචාරය ඔරිම තීරයි, කාමමිථ්යාචාරයෙන් විරමණය පාරිමතීරයි. මුසාවාදය ඔරිමතීරයි, මුසාවාදයෙන් විරමණය පාරිමතීරයි. පිසුනුබස් ඔරිමතීරයි, පිසුනුබසින් විරමණය පාරිමතීරයි. පරොස්බස් ඔරිමතීරයි, පරොස්බසින් විරමණය පාරිමතීරයි. සම්ඵප්රලාපය ඔරිමතීරයි, සම්ඵප්රලාපයෙන් විරමණය පාරිමතීරයි. අභිධ්යාව ඔරිමතීරයි, අනභිධ්යාව පාරිමතීරයි. ව්යාපාදය ඔරිමතීරයි අව්යාපාදය පාරිමතීරයි. මිථ්යාදෘෂ්ටිය ඔරිම තීරයි, සම්යග්දෘෂ්ටිය පාරිමතීරයි. මහණෙනි, මේ ඔරිමතීරයි, මේ පාරිමතීරයි.
1. මනුෂ්යයන් අතරෙහි යම් ජන කෙනෙක් නිවන්පරතෙර යනසුලු වෙත් නම් ඔහු අල්ප වෙත්. වැලිත් (මේ) සෙසු ප්රජා මෙ තෙර අනුවම දිවෙයි.
2. යම් ම කෙනෙක් මොනොවට දෙසන ලද ධර්මයෙහි ධර්මානුවර්තී වෙත් ද ඒ ජනයෝ සුදුස්තර මෘත්යුධෙය ය තරණය කොට පරතීරයට යෙත්.
3. ඔකසඞ්ඛ්යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ සිත් අලවා වෙසේද, ඒ පණ්ඩිත තෙම කෘෂ්ණ ධර්ම හැරපියා ශුක්ලධර්ම වඩනේ ය.
4. රාගාදි කිඤ්චන රහිත වූයේ කාමයන් හැරපියා අභිරතිය රුස්නේ ය. පණ්ඩිත තෙම චිත්තක්ලේෂයන්ගෙන් සිත පර්ය්යවදාත කෙරෙ යි.
5. යමකුන් විසින් සම්බෝධ්යඞ්ගයන්හි මොනොවට සිත සුභාවිත ද යම් කෙනෙකුන් උපාදාන විසින් නො ගෙන ආදානප්රතිනිසර්ගයෙහි ඇලුනාහු ද ද්යුතිමත් වූ එ ක්ෂීණාශ්රවයෝ පස්කඳලොව් හි පිරිනිවුණහ යි.
10. 4. 2. 5.
පඨම අධම්ම සූත්රය
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා දතයුත්තේ ය. ධර්මය හා අර්ත්ථය හා දතයුත්තේ ය. අධර්මය හා අනර්ත්ථය හා දැන ධර්මය හා අර්ත්ථය හා දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය කවරේය යත්:
ප්රාණාඝාතය අදින්නාදානය කාමමිථ්යාචාරය මුසාවාදය පිසුනාවාචාය ඵරුසාවාචා ය සම්ඵප්රලාපය අභිධ්යාය ව්යාපාදය මිථ්යාදෘෂ්ටිය යි. මහණෙනි, මේ අධර්මය හා අනර්ත්ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්මය හා අර්ත්ථය කවරේය යත්?
ප්රාණාඝාතයෙන් විරමණය, අදත්තාදානයෙන් විරමණය, කාමමිථ්යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්රලාපයෙන් විරමණය, අනභිධ්යාය, අව්යාපාදය, සම්යක්දෘෂ්ටිය යී. මහණෙනි, මේ ධර්මය හා අර්ත්ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා දතයුත්තේ ය. ධර්මය හා අර්ත්ථය දතයුත්තේ ය. අධර්මය දැන අනර්ත්ථය ද දැන ධර්මය හා අර්ත්ථය හා දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වේ නම් එ සේ පිළිපැදිය යුතු ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදැ යි.