10. 2. 5. 9.
උපාලි සූත්රය
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්ය - වානප්රස්ථ ප්රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
උපාලි, ආරණ්ය - වානප්රස්ථ ප්රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත ඒකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්යයන් හි වනපෙත් හා ප්රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.
උපාලි, යම් සේ මහ දිය විලෙක් වේ නම්, එකල සත්රියන් වේ වයි, අටරියන් වේ වයි, හස්ති නාගයෙක් එයි නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම මෙ දිය විලට බැස කණ්ණසන්ධොපික (කන් දෙවුන් කෙළි) නම් ක්රීඩා ද කෙළනෙම් පිට්ඨිසන්ධොකපික (පිටදෙවුන්) නම් ක්රීඩාව ද කෙළනෙම් නම් කණ්ණසන්ධොපික නම් ක්රීඩා ද කෙළැ පිට්ඨිසන්ධොකපික නම් ක්රීඩා ද කොට ස්නාන ද කොට පැන්පීම ද කොට ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් යෙහෙකැ”යි. හේ මහදිය විලට බැස කණ්ණසන්ධොපික නම් ක්රීඩා ද කෙළනේ ය, පිට්ඨිසන්ධොකපික නම් ක්රීඩා ද කෙළනේ ය. කණ්ණසන්ධොපික නම් ක්රීඩා ද කෙළැ පිට්ඨිසන්ධොකපික නම් ද ක්රීඩා ද කොට සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යන්නේ ය. එ කවර හෙයින යත්: උපාලි, මහත් වූ ම ආත්මභාවයෙක් ගැඹරෙහි ප්රතිෂ්ඨා විඳුනේය.
ඉක්බිති ශශකයෙක් වේව යි විඩාලයෙක් වේ වයි එන්නේය. ඔහට මෙ සිත වන්නේ ය. මම් කවරෙකිම්? ඇත් නා කවරෙක? මම් මෙ මහ දිය විලට බැස කණ්ණසන්ධොපික නම් ක්රීඩා ද කෙළනෙම්, පිට්ඨිසන්ධොපික නම් ක්රීඩා ද කෙළෙනම්, කණ්ණසන්ධොපික නම් ක්රීඩා ද කෙළැ පිට්ඨිසන්ධොපික නම් ක්රීඩා ද කෙළැ සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් මැනැවැ”යි. හේ දිය විලට වහා නොපස්විකා පනනේ ය.
‘ගිලෙනුයේ හෝ ඉල්පෙනුයේය’ යන තෙල ඔහු විසින් කැමැති විය යුතු. හෙ කවරහෙයින යත්: උපාලි, ලඝු වූ ශරීරාත්මභාවය ගැඹරෙහි ප්රතිෂ්ඨා නො විඳුනේ ම ය. උපාලි, එපරිද්දෙන් ම යමෙක් මෙසේ කියා නම්: “මම සමාධි නො ලබනුයෙම් අරන හා පෙත් හා ප්රාන්ත සෙනසුන් සෙවුනෙමි”යි ඔහු විසින් “ගිලෙයි හෝ ඉල්පෙයි හෝ” යන තෙල කැමැති වියුතු.
උපාලි, ළදරු උඩුකුරුව හෝනා බොළඳ කුමරෙක් යම්සේ සිය මලමූයෙන් කෙළනේ නම්, උපාලි, ඒ කුමැයි හඟුව? මෙ හැම පිරිපුන් බාල ක්රීඩායෙක් නො වේ ද? වහන්ස, එසේය.
උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්ද්රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්රීඩාවට වඩා සිත්කලු හා ප්රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.