5. උපාලි වර්‍ගය
10. 2. 5. 1.
කාමභෝගී සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අනාථ පිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, මෙ ලොව්හි කාමභෝගී හු දස දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර දසදෙනෙකයත්:
1. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කරණේ ය. අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කොට තමා නො සුවපත් කරන්නේ ය. නො පිනවන්නේ ය. සංවිභාග නො කරන්නේ ය, පින් නොකරන්නේ ය.
2. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවනුයේ ය, සංවිභාග නො කරනේ ය, පින් නො කරනේ ය.
3. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
4. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේය. ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කරයි, නො පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
5. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් ද සාහසයෙන් ද අසාහසයෙන් ද භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
6. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේ ය. ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
7. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කරනේ ය. දැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කොට තමා සුවපත් නො කරනේ ය. නො පිනවන්නේය, සංවිභාග නො කරනේ ය. පින් නොකරනේ ය.
8. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග නො කරන්නේ ය, පින් නො කරනේ ය.
9. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයන්නේය, ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. (ලෝභයෙන්) ග්‍රථිත වූයේ; මූර්ඡිතවූයේ, එහි බැස ගත්තේ ආදීනව නො දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා නැතියේ එ භෝගයනුදු වලඳනේය.
10. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි. දැහැමින් නො සැහැසියෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි, පිනවයි, සංවිභාග කෙරෙයි, පින් කරයි. ග්‍රථිත නො වූයේ මූර්ඡිත නො වූයේ, එහි නො බැස ගත්තේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා ඇතියේ වළඳනේ යි.
1. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අදහමින් සැහැසිකමින් භෝග සොයනේ නම්, අදහමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් ගැරැහිය යුත්තේ ය: ‘අදහමින්, සැහැසිකමින් භෝග පර්‍ය්‍යෙෂණ කරයි’ යන මේ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි, යන මේ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මේ තුන්වන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ මෙතුන් කරුණෙන් ගැරැහිය යුත්තේ ය.