2. දෙවන පණ්ණාසකය
1. සචිත්ත වර්‍ගය
10. 2. 1. 1.
සචිත්ත සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම් හි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
මහණෙනි, ඉදින් මහණ පරචිත්ත පරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වේමැයි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු ය.
මහණෙනි, කෙසේ මහණ සචිත්තපරියාය කුසලවේ ය යත්: මහණෙනි, දහර වූ තරුණ වු සැරසීම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ කැටපතෙක වේවයි පහන් දියබඳුනෙක වේවයි තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ තල කැලලක් හෝ දක්නේ ද ඒ රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් “එකැතින් මට ලාභයෙක, එකැතින් මාගේ මුව පරිපූර්‍ණ ය”යි එයින් තුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වෙයි. මහණෙනි, එපරිදිම මහණහට කුසල්දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපාකාර වෙයි: අභිධ්‍යා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ අභිධ්‍යා බහුල කොට නැතියෙම් වෙසෙම් දෝ යි; ව්‍යාපාදයෙන් යුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ ව්‍යාපාදයෙන් වියුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ථිනමිද්ධයෙන් වැඩුනෙම් බෙහෙවින් වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යී, උද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම්දෝ යී අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි නො කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සකිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නො කිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නොගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; කුසීතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ඇරඹි වැර ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; අසමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුලයෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද යුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ථීනමිද්ධයෙන් වැඩුණෙම් බොහෝ කොට වෙසෙම්, උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි, මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. මහණෙනි, යම් සේ ඇවිළගත් පිළි ඇත්තේ වේව යි ඇවිළගත් හිස් ඇත්තේ වේවයි එ ම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් ද ව්‍යායාමයක් ද උත්සාහයෙක් ද උස්සෝළහියක් ද නො පසුබැස්මක් ද ස්මෘතියක් ද සම්ප්‍රජන්‍යයක් ද කෙරේ නම් එසෙයින් ම ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හ උත්සාහයෙක් හා උස්සෝළහියක් හ නො පසුබැස්මක් හෝ ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හ කටයුතු.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද වියුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, පහවූ ථීනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි. මහණෙනි, එහෙයින් මහණහු විසින් ඒ කුසල් දහම්හි ම පිහිටා මතු ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු’යි
10. 2. 1. 2.
සාරිපුත්ත සූත්‍රය
[සැවැත්]
එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
“ඇවැත්නි, ඉදින් මහණ පරිචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය (තම සිතට අවවාද කිරීමෙහි) කුසල වෙමි”යි ඇවැත්නි මෙසෙයින් තොප විසින් හික්මිය යුතු.