10. 2. 5. 7.
ආහුනෙය්‍ය සූත්‍රය
මහණෙනි, දශධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර දශයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාර ගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලුයේ සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් බඳු ධර්‍මකෙනෙක් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කොට, කේවලපරිපූර්‍ණ, පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පළට කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥායෙන් සුප්‍රවිදිත වූවාහු බහුශ්‍රුත වෙති.
කල්‍යාණ සගයන් ඇතියේ කල්‍යාණ පුද්ගලයනට නැඹුරුවීම් ඇතියේ කල්‍යාණමිත්‍ර ද වෙයි.
සම්‍යග් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
අනේකවිධ ඍද්ධි විශේෂය වදනේය. එකෙක් ම වූයේ බහුප්‍රකාරයෙන් වෙයි. බහුප්‍රකාරයෙන් වූයේ ම එකෙක් වෙයි. පළට බව, නො පළ බව කරනේය, බිතින් පරභාගයට පවුරින් පරභාගයට පවුයෙන් පරභාගයට අහසැ සෙයින් නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැගීම් හා ගැලීම් හා කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳෙන දියෙහි දු ගමන් කෙරෙයි. පියාපත් ඇති ළිහිණියක සෙයින් අහස්හිදු පළඟින් යෙයි. මෙසේ මහර්ධි ඇති, මෙසේ මහානුභාව ඇති මෙ සඳහිරුනුදු අත්ලෙන් පරාමර්‍ෂ කෙරෙයි, පිරිමදියි, බඹ ලෝ හිම් කොට ද කයින් වශය පවත්වයි.
විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවසෝධායෙන් දිව්‍ය වූ හා මානුෂ හා දුරෙහි හා වෙත හා උභය ශබ්දයන් අසයි.
පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දන්නේ ය: සරාග වූ හෝ චිත්තය සරාග චිත්ත යයි දන්නේ ය. වීතරාග හෝ චිත්තය වීතරාග චිත්ත යයි දන්නේ ය. සදෝස හෝ චිත්තය ... වීතදෝස හෝ චිත්තය ... සමෝහ හෝ චිත්තය ... වීතමෝහ හෝ චිත්තය ... සංක්‍ෂිප්ත හෝ චිත්තය ... වික්‍ෂිප්ත හෝ චිත්තය ... අමහද්ගත හෝ චිත්තය ... මහද්ගත හෝ චිත්තය ... සඋත්තර හෝ චිත්තය ... අනුත්තර හෝ චිත්තය ... අසමාහිත හෝ චිත්තය ... සමාහිත හෝ චිත්තය ... අවිමුත්ත හෝ චිත්තය ... විමුත්ත හෝ චිත්තය ... විමුක්ත හෝ චිත්තය විමුක්ත චිත්තය යි දන්නේය.
අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ය. කෙසෙයින යත්: එක් ජාතිකෙකුදු - ජාති දෙකකුදු - ජාති තුනකුදු - ජාති සතරකුදු - ජාති පසකුදු - ජාති දශයකුදු - ජාති විස්සකුදු - ජාති තිසකුදු - ජාති සතළිසකුදු - ජාති පනසකුදු - ජාති සියයකුදු - ජාති දහසකුදු - ජාති සුවහසකුදු - නොයෙක් සංවර්‍තකල්පයනුදු - අනේක විවර්‍තකල්පයනුදු - අනේක සංවර්‍තවිවර්‍ත කල්පයනන් දැයි (යන විසිනි.) මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු සිරුරු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳුනෙම්, මෙබඳු ආයු හිම් කොට ඇතියෙම්, අසෝතන්හි උපන්මි, හෙ මම් එයින් සැවැ අසෝතන්හි උපනිමි. එහිදු මෙබඳු නමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්. මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳින සුලුයෙම් මෙබඳු ආයු හිම්කොට ඇත්තෙම් වීමි. එ මම් එයින් ච්‍යුතවූයෙම් මෙහි උපන්නෙම් වෙමියි මෙ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි.