10. 2. 5. 6.
කොකනද සූත්රය
එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රාත්රි ප්රත්යූෂ සමයෙහි නැගිට ගාත්ර පරිෂේකය සඳහා තපොදා නදිය කරා වැඩියහ. තපෝදයෙහි ගාත්ර පරිෂෙක කොට පෙරළා ගොඩ නැගී සිරුරු තෙත සිඳුවමින් ඒකචීවරව සිටියහ. කොකනද පරිව්රාජක ද රාත්රිහුගේ ප්රත්යූෂ සමයෙහි නැගී තපොදා නදිය කරා ගාත්ර ස්නානය පිණිස ගියේ ය. කොකනද පරිව්රාජකයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් එනු දුරදී ම දිටී. දැක ආයුෂ්මත් ආනන්ද තෙරුනට තෙල කීය:
ඇවැත්නි, තෙපි කවරහු වව.
ඇවැත්නි, මම් මහණෙක් මි යි.
ඇවැත්නි, කවර මහණුන් අතුරෙහි වව යි?
ඇවැත්නි, ශ්රමණ ශාක්යපුත්රයන් අතුරෙහි වෙමි යි.
ඉදින් ආයුෂ්මත් පැන විසඳනට අවකාශ කෙරේ නම් අපි ආයුෂ්මතුන් කිසියම් ම ලේශයක් පුළුවුස්න මෝයි.
ඇවැත්නි, පුළුවුස, අසා දනුම්හ යි.
භවත්නි, කිමෙක, තෙපි ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇති යව් දැයි?
ඇවැත්නි, මම ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
භවත්නි, කිමෙක භවත්හු ‘ලෝකය අශාශ්වතය’ යන ‘මෙ ම සත්යය, අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ? යි.
ඇවැත්නි, මම ‘ලෝකය අශාශ්වතය’ යන ‘මෙය ම සත්යය අනෙක සිස්ය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
භවත්නි, කිමෙක තෙපි ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත්ය’ ...’ඒ ජීවවෙයි, එ ශරීර වෙයි’ ... ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙය ම සත්යය, අනෙක සිස් ය යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ යි?
ඇවැත්නි මම, “සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙය ම සත්යය, අනෙක සිස් ය, මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙම් මැයි.
එ කරුණෙන් ම භවත් නො දන්නේ ය නො දක්නේ යයි? ඇවැත්නි, මම නො ම නො දන්නෙම්, නො ම නො දක්නෙ මි. ඇවැත්නි, මම දන්මි, දක්මි යි.