10. 2. 5. 4.
වජ්ජියමාහිත සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ‘ගග්ගරා’ නම් පොකුණු තෙර වැඩ වසන සේක. එකල්හි වජ්ජියමාහිත නම් ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා චම්පා නුවරින් මහ දවල්හි නික්මියේ ය. එකල්හි වජ්ජියමාන ගෘහපතියහට තෙල සිත විය: “භාග්‍යවතුන් වහන්සේ දක්නට තවම නො කලි. භාග්‍යවතුන් වහන්සේ පිළිසලනෙහි හුන්හ. මනෝභාවනීය භික්‍ෂූනුදු දක්නට නො කලි, මනෝභාවනායෙහි ඇලුණු භික්‍ෂූහු පිළිසලනෙහි යෙදුණහ. ඉදින් මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට යෙම් නම් මැනැවැ”යි.
ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුවට එළඹියේ ය. එකල්හි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ එක් රැස්ව ඔල්වරසන් ඇත්තාහු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු නන් වැදෑරුම් තිරිසන්ගිය කථා කියමින් හුන්නාහු වෙත්.
ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වජ්ජියමාහිත ගෘහපතීහු එනු දුරදීම දුටහ. දුරදී ම එන්නහු දැක උනුන් පිහිටවූහ (නවතාලූහ) “භවත්හු නිහඬ වෙත් වා, භවත්හු නහමක් ශබ්ද කෙරෙත්වා. ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වජ්ජියමාහිත ගෘහපති එයි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සුදුවත් හඳනා යම් පමණ ගිහිහු චම්පායෙහි වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති ඔවුන්ගෙන් අන්‍යතරයෙක් වෙයි. අල්පශබ්ද කැමැති ඒ භවත් හු අල්පශබ්ද ඇතියහු (මහණ ගොයුම්හු) විසින් විනීත වූවාහු අල්පශබ්දයාගේ වර්‍ණ කියන්නාහු නිහඬ පිරිසැ යි දැන එළඹිය යුතු කොට හඟනේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූහ. එකල්හි වජ්ජියමාහිත ගැහැවි එ පිරිවැජියන් කරා එළැඹියේ ය. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගෘහපතිහට ඒ පිරිවැජියෝ තෙල කරුණ කීහ:
ගෘහපතිය, මහණ ගොයුම් හැම තපසක් (දුෂ්කර ක්‍රියාවක්) ගරහන්නේ ය, රූක්‍ෂාජීව ඇති දුෂ්කර තවුස් දම් රක්නා හැමට එකැතින් උපක්‍රෝශ කරන්නේ ය. උපවාද කරන්නේ ය යනු සැබෑවෙක් දැයි?”
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හැම තපස නො මැ ගරහන්නා හ, රූක්‍ෂාජීව ඇති හැම තපස්වියකුට එකැතින් නො ද උපක්‍රෝෂ හා උපවාද හා නො කරන්නා හ. වහන්ස, භගවත්හු ගැරැහිය යුක්තහු ම ගරහන්නා හ, පැසැසියයුතුවහු ම පසස්නා හ. වහන්ස, ගැරැහියයුතුවහු ම ගරහන, පැසසියයුතුවහු ම පසස්නා භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාද ඇතියහ. එ භගවත්හු මෙ කරුණෙහිලා ඒකාංශවාද ඇතියාහු නො වෙත්.
මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් වජ්ජියමාහිත ගීහපතිහට තෙල කරුණ කීහ:
“ගැහැවිය ඉවසව, තෝ යම් බඳු මහණ ගොයුමක්හුගේ ගුණ වනහි නම්, එ මහණ ගොයුම්හු (මෙරමා විසින්) හික්මැවිය යුතුවහ, (කිසිවක්) පැනැවිය නො සමත්හ”යි
වහන්ස, මෙ කරුණෙහිදු මම් ආයුෂ්මත්නට සහ ධර්‍මයෙන් කියනෙම්: වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් ‘මේ කුසල’යි පැනැවිණ, වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් මෙ ‘අකුසල’ යි පැනවිණ. මෙසේ භාග්‍යයවතුන් වහන්සේ කුශලාකුශල පනවන්නාහු භගවත් සප්පඤ්ඤත්තික වෙති. ඒ භගවත්හු වෙනයික අප්පඤ්ඤත්තික නො වෙත් යයි.
මෙසේ කී කල්හි එ පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූවාහු මකු වූවාහු යට හෙලූ කඳට ඇතියහු යට අළ මුව ඇත්තාහු සිතිවිලි සිතනුවෝ ප්‍රතිභාන රහිත ව හුන්හ. ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති තූෂ්ණීම්භූත, මඞ්කුභූත, නැමූ කඳට ඇති යට හෙලූ ඇස් ඇති සිතිවිලි සිතන කිසිවක් නො වටහන එ පිරිවැජියන් දැන හුනස්නෙන් නැඟ භාග්‍යයවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යයවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගැහැවි ඒ පරිව්‍රාජකයන් සමඟ යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යයවතුන් වහන්සේට සැල කෙළේ ය.
ගෘහපතිය, මැනැව, මැනැව. ගෘහපතිය, මෙසෙයින් ම එ මෝඝ පුරුෂයෝ සහධර්‍මයෙන් කලින් කල සුනිගෘහිතව නිගැනිය යුත්තාහ. ගෘහපතිය හැම තවුස් දමක් තැවිය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම තවුස් දමක් නො තැවිය යුතු කොට ද මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතුයයි ද මම නො කියමි. ගෘහපතිය, හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් නො කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර ලිය යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර නො ලිය යුතු යයි මම නොකියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො කියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො වේ යයි ද මම නො කියමි.