10. 2. 5. 3.
කිංදිට්ඨික සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති මැදි දහවල් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතින් නික්මින. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල සිත විය: “භාග්‍යවතුන් දක්නට තව ම නො කල, භාග්‍යවත්හු ප්‍රතිසංලීනයහ, මනෝ භාවනීය මහණුන් දක්නට ද, නො කල, මනෝ භාවනීය මහණහු ප්‍රතිසංලීනයහ. මම් අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුව කරා යෙම් මැනැවැ”යි. ඉක්බිති අනේපිඬු සිටුතෙම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹියේ ය.
එ සමයෙහි අන්තොටු පිරිවැජියෝ එක් රැස්ව ඔල්වරසන් කරන්නාහු උස්හඬ මහ හඬ ඇත්තාහු අනේකවිධ තිරශ්චීන කථා කියන්නාහු හුන්නාහු වෙති. එ අන්තොටු පිරිවැජියෝ දුරින්ම එන අනේපිඬු ගැහැවි දුටුහු. දැක උනුන් (ඉරියව් - තෙපුල්) නැවැත් වූහ: “භවත්හු අල්ප ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරත්වා, මේ මහණ ගොයුම් සවු අනේපිඬු ගැහැවි එයි. මහණ ගොයුම්හුගේ සුදුවත් හඳනා ගිහි සව්වෝ යම් පමණ සැවැත්හි වෙසෙත් නම්, මේ අනාථ පිණ්ඩික ගෘහපති ඔවුනතුරෙන් අන්‍යතරයෙක, එ ආයුෂ්මත්හු වනාහි අල්පශබ්ද ඇති (මාත්‍රභාණී) යහු විසින් හික්මවන ලද්දාහු අල්පශබ්දයාගේ ගුණ වණන්නාහු වෙති, අල්පශබ්ද ඇති පිරිස දැන එළඹියැ යුතු කොට හඟනේ නම් මැනැවැයි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තුෂ්ණීම්භූත වූහ.
ඉක්බිති අනේපිඬු ගැහැවි තෙම එ අන්තොටු පිරිවැජියන් කරා එළඹියේ ය. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගැහැවිහට ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තෙල කරුණ කීහ: “ගැහැවිය, මහණ ගොයුම්හු කවර දෘෂ්ටියක් ඇතියහු දැ යි කියව”යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ හැම දිටු නො දන්මි”යි
“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, භික්‍ෂූහු කවර දෘෂ්ටි ඇතියහු දැයි කියව”යි. “වහන්ස, මම භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්මි”යි.
“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, තෙපි කවර දිටු ඇතියහු දැයි කියව”යි. වහන්ස, අපි කවර දිටු ඇතියමෝ ද යන තෙල කරුණ පාළ කරන්නට අප විසින් දුෂ්කර නො වෙයි. එසේ නම් ආයුෂ්මත්හු පළමු මැ යථා ස්වක දෘෂ්ටීන් පාළ කෙරෙත් වා, අපි යම් දෘෂ්ටියක් ඇතියමෝ නම් තෙල කරුණ අප විසින් පසු ද පාළ කරන්නට දුෂ්කරයෙක් නො වන්නේ ය.
මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ගෘහපතිය, මම ලෝකය ශාශ්වතය, මෙ ම සත්‍යය, අනෙක අසත්‍යය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ලෝකය අශාශ්වතය, මෙ ම සත්‍යය: අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කී: “ගැහැවිය, මම ලෝකය අන්තවත්ය, -පෙ- ලෝකය අනන්තවත් ය, -පෙ- එ ජීවය; එ සිරුරය -පෙ- ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක, -පෙ- සත්ත්‍වයා මරණින් පසු (පිළිසඳ විසින්) වෙයි, -පෙ- සත්ත්‍ව මරණින් පසු (පිළිසඳ විසින්) නොවෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු වන්නේ ද, නොවන්නේ ද වෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු නො මැ වෙයි, නොවන්නේ නොවෙයි, මෙ ම සත්‍යය, අනෙක සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි”යි.